පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාර සම්බන්ධ විමර්ශනවලට අදාළව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීමට එරෙහිව හිටපු රාජ්ය බුද්ධි සේවා අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කිරීමට අවසර ලබා දෙන්නේද යන්න පිළිබඳ තීන්දුව නොවැම්බර් 27 වැනිදා ප්රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දී තිබේ.
අදාළ පෙත්සම සම්බන්ධයෙන් සිදුකළ වාචික කරුණු දැක්වීම් සිකුරාදා (18) අවසන් කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල මෙම දිනය ප්රකාශයට පත් කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා සහ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු මහතාගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් ඉදිරියේ පෙත්සම සලකා බැලිණි.
සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා දීර්ඝ කරුණු දැක්වීම්වලින් අනතුරුව සිය ප්රතිචාරාත්මක කරුණු දැක්වීම්ද අද අවසන් කළේය.
පාර්ශ්වකරුවන්ට ඔවුන්ගේ ලිඛිත කරුණු දැක්වීම් ඔක්තෝබර් 20 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරු මඬුල්ල නියෝග කළේය.
මීට අමතරව, පෙත්සම්කරු විසින් ඉල්ලා ඇති අතුරු සහන සම්බන්ධයෙන්ද නොවැම්බර් 27 වැනිදා තීන්දුව ප්රකාශයට පත් කරන බව අධිකරණය දැනුම් දී තිබේ.

