සීෂෙල්ස් පරාජයත් සමඟ ශ්‍රී ලංකාව FIFA ශ්‍රේණිගත කිරීම්වල 186 වැනි ස්ථානයට

ඉරිදා (27) සීෂෙල්ස් කණ්ඩායමට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව FIFA ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණ 187 වැනි ස්ථානයේ සිට 186 වැනි ස්ථානය දක්වා ඉහළ ගොස් තිබේ.

සීෂෙල්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ගෝල 3-0ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර ඇති අතර, එම ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රේණිගත කිරීම් ලකුණු 4.31ක් ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වනවිට ශ්‍රේණිගත කිරීම්වල ලකුණු 881.17ක් ලබාගෙන 186 වැනි ස්ථානයේ පසුවෙයි.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව තරග තුනක ජයග්‍රහණ වාර්තා කර ඇති අතර, ඊට පෙර තරග දෙකකදී පරාජයට පත්ව තිබිණි.

ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් කණ්ඩායම් අතර තවත් තරගයක් අඟහරුවාදා (29) පැවැත්වීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සිය මෑතකාලීන ජයග්‍රාහී රැල්ල තවදුරටත් ඉදිරියට ගෙන යාමට තවත් අවස්ථාවක් හිමිවනු ඇත.

සටහන: FIFA හි නිල පිටුව අනුව, ජූලි 20 වැනිදා නිකුත් කළ අවසන් නිල ශ්‍රේණිගත කිරීම තවමත් බලපැවැත්වෙන අතර, තරගවලින් පසු පෙන්වන සජීවී ශ්‍රේණිගත කිරීම් සියලු තරග ජාත්‍යන්තර ‘A’ තරග ලෙස අනුමත කරන තෙක් නිල නොවන ඒවා ලෙස සැලකේ. මීළඟ නිල ශ්‍රේණිගත කිරීම ඔක්තෝබර් 7 වැනිදා නිකුත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *