සිංගප්පූරුවේ සිට ශ්‍රී ලාංකිකයින් 291ක් මෙරටට, ගුවන් තොටුපළේදීම PCR පරීක්ෂාවට

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291ක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-303 දරණ විශේෂ ගුවන්යානය අද (02) සවස 4.15ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් මගීන් පිරිස ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගැනීමට විශේෂ කවුන්ටර 08 ක් සුදානම් කර තිබූ අතර එම පරිශ්‍රය තුළදීම PCR පරීක්ෂණ සදහා යොමු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ගුවන් තොටුපළ සහ සෞඛ්‍ය බලධාරීන් විසින් සකස් කර තිබුණි.

මෙම ගුවන් මගීන් පිරිසගෙන් PCR පරීක්ෂණ සදහා සෙම පටල ලබා ගැනීමට පැය 05 ක පමණ කාළයක් ගත විය හැකි බව කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් අනුමාන කරයි. එසේ ලබා ගන්නා සෙම පටල සාම්පල ඉදිරි පරීක්ෂණ සදහා, විශේෂ ගිලන් රථයක් මගින් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කිරීමට නියමිතයි. වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් එම ප්‍රතිඵල ලබා දීමට අවම වශයෙන් තවත් පැය 24 ක කාළයක් ගත විය හැකි බව ගුවන් තොටුපළ බලධාරීන් වෙත දන්වා තිබේ.

එම PCR පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක්, අදාළ ගුවන් මගීන් පිරිස ගුවන් තොටුපළ අවට හෝටල් 04 ක නවාතැන් ගැනීමට කටයුතු සැලසුම් කර තිබේ.

එසේ නවාතැන් ගන්නා හෝටල් ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ විශබීජ හරණය කර, දුරස්ථභාවය සහ අනෙකුත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුව පවත්වා ගෙන ආකාරයට සූදානම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *