කොළඹ මෙට්‍රෝ බස් සේවය සැප්තැම්බර් මස අග භාගයේ සිට තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර තිබේ.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් තොරතුරු පළ කරමින්, කොළඹ සහ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බස් මාර්ග ජාලයේ සිතියම්ද නිකුත් කර තිබේ.
මගීන්ට ආරක්ෂිත සහ සුවපහසු ගමන් අත්දැකීමක් ලබාදීම අරමුණු කර ගනිමින් මෙම සේවාව ක්‍රියාත්මක වන අතර, අමතර සේවා සැප්තැම්බර් මස අග සිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.
‘Lanka Metro Transit’ සන්නාමය යටතේ නිකුත් කර ඇති මාර්ග සිතියම් අනුව කොළඹ සහ ප්‍රධාන නගර හා ප්‍රවාහන මධ්‍යස්ථාන කිහිපයක් සම්බන්ධ කරමින් බස් සේවා 7ක් සැලසුම් කර තිබේ.
සැලසුම් කර ඇති මාර්ග මෙසේය.
- CM 01: මාකුඹුර සිට පිටකොටුව දක්වා
- CM 02: මිලේනියම් සිටි සිට කොළඹ කොටුව දක්වා
- CM 03: කඩවත සිට මාකුඹුර දක්වා
- CM 04: දෙමටගොඩ සිට පානදුර දක්වා
- CM 05: බත්තරමුල්ල සිට ඒකල දක්වා
- CM 06: කොල්ලුපිටිය වටරවුම් මාර්ගය
- CM 08: කහතුඩුව සිට පිටකොටුව/SLIIT දක්වා
මෙම බස් ජාලය මහරගම, නුගේගොඩ, බත්තරමුල්ල, මාලඹේ, දෙහිවල, මොරටුව සහ ජාඇල ඇතුළු ප්‍රධාන ප්‍රදේශ රැසක් ආවරණය කිරීමට නියමිතය.
නිකුත් කර ඇති සිතියම් මගින් සමස්ත භූගෝලීය ආවරණය මෙන්ම එක් එක් මාර්ගයට අදාළ ගමන් මාර්ගද වෙන වෙනම පෙන්වා ඇති අතර, ප්‍රධාන නැවතුම් ස්ථාන සහ මාර්ග අතර සම්බන්ධතාද එහි දැක්වේ.
කෙසේ වෙතත්, සේවා පුළුල් කිරීම සැප්තැම්බර් මස අගදී සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළද, එක් එක් මාර්ගය සඳහා නිශ්චිත ආරම්භක දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
එමෙන්ම නිකුත් කර ඇති සිතියම්වල බස් රථ ධාවනය වන වාර ගණන, ගාස්තු හෝ සවිස්තරාත්මක කාලසටහන් පිළිබඳ තොරතුරුද ඇතුළත් කර නොමැත.




