චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියන 2ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් මඟින් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබේ.
චීනයේ බෙයිජිං නුවරින් අද අලුයම 12.15ට එන්නත් මාත්‍රා මිලියනයක් රැගෙන පිටත් වූ , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 869 දරන ගුවන් යානය අලුයම 05.10ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 865 දරන දෙවන ගුවන් යානය අනෙක් එන්නත් මාත්‍රා මිලියනය රැගෙන, අද අලුයම 01.45ට පිටත් වී ඇති අතර, එම ගුවන් යානය අලුයම 06.40ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
අද උදෑසන “දෙරණ අරුණ” සමඟ එක්වෙමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, තවත් එන්නත් මාත්‍රා මිලියන 2ක් මේ මාසය තුළ ලැබීමට නියමිත බවය.
ඊට අමතරව තවත් ඇස්ට්‍රාසෙනිකා මිලියන 1.4ක් මේ මස තුන්වන සතියේ ද ස්පුට්නික් V එන්නත් තොගයක් මේ මාසය තුළ දී ද ලැබීමට නියමිත බව ද යුද හමුදාපතිවරයා පැවසීය.
මේ වන විට ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා මිලියන 6.57ක් ලැබී ඇති බව ද පැවසු යුද හමුදාපතිවරයා, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල සිටින වයස අවුරුදු 30ට වැඩි සියලුම ජනතාවට ජූලි මාසය අවසන් වීමට පෙර එන්නත් ලබාදීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.