ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියා නීති වෘත්තීය ආයතන අතර සහයෝගිතාව ශක්තිමත් කිරීමට අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සහ ඕස්ට්‍රේලියානු නීති කවුන්සිලය අතර නීති වෘත්තීන් දෙක අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයකට අනුව, කොරියානු ජනරජයේ සෝල් නුවර පැවති 39 වැනි LAWASIA සමුළුව අතරතුරදී මෙම අවබෝධතා ගිවිසුම විධිමත් කර ඇත.

ඕස්ට්‍රේලියානු නීති කවුන්සිලයේ සභාපති Tania Wolff මහත්මිය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රාජීව් අමරසූරිය මහතා විසින් ගිවිසුමට අත්සන් තබා තිබේ.

1933 වසරේදී ආරම්භ කර ඇති ඕස්ට්‍රේලියානු නීති කවුන්සිලයේ මූලස්ථානය කැන්බරා නුවර පිහිටා ඇති අතර, එය ඕස්ට්‍රේලියාවේ නීති වෘත්තිය නියෝජනය කරන ප්‍රධාන ජාතික ආයතනය ලෙස කටයුතු කරයි.

අනුබද්ධ නීති සංගම්, නීතිඥ සංගම් සහ “Law Firms Australia” හරහා නීතිඥයන් 107,000කට අධික පිරිසක් එම කවුන්සිලය නියෝජනය කරයි.

ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ඕස්ට්‍රේලියානු නීති වෘත්තියේ අවශ්‍යතා නියෝජනය කිරීම, යුක්තිය සහ යුක්තියට ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම මෙන්ම නීතියේ දියුණුව සඳහා කටයුතු කිරීමද එම කවුන්සිලයේ ප්‍රධාන කාර්යයන් අතර වේ.

නව අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ නීතිඥයන් අතර සහයෝගිතාව සහ හුවමාරු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරයි.

එමෙන්ම වෘත්තීය ආයතන දෙක අතර නීතිමය තොරතුරු සහ සම්පත් හුවමාරු කර ගැනීමට පහසුකම් සැලසීමද ගිවිසුමේ අරමුණකි.

නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම මෙන්ම නීති වෘත්තියේ සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා දෙපාර්ශ්වය දක්වන පොදු කැපවීම මෙම ගිවිසුමට පදනම් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *