“වැසි ජලය රැස් කිරීමෙන් ජල සුරක්ෂිතතාව ශක්තිමත් කළ හැකියි” කුමාර් සංගක්කාර

දේශගුණික රටාවන්හි සිදුවන වෙනස්කම් හමුවේ ශ්‍රී ලංකාවේ ජල සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා සරල නමුත් ඵලදායී විසඳුමක් ලෙස වැසි ජලය රැස් කිරීමේ ක්‍රමවේද ප්‍රවර්ධනය කළ යුතු බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සංගක්කාර පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් තරම් වර්ෂාපතනයක් ලැබුණද, තවමත් බොහෝ ප්‍රජාවන්ට විශ්වාසදායක ජල සැපයුමක් නොමැති බවයි.

තම ඥාති පුත්‍රයෙකු මෑතකදී සීමාවාසික පුහුණුවක් ලබා ඇති Lanka Rain Water Harvesting Forum ආයතනයේ කටයුතුද ඔහු මෙහිදී සිහිපත් කර තිබේ. වැසි ජලය රැස් කිරීම මගින් ජනතාවගේ ජීවිතවලට සැබෑ වෙනසක් සිදුකළ හැකි ආකාරය තමන්ට සියැසින් දැකගැනීමට හැකි වූ බවද සංගක්කාර සඳහන් කර ඇත.

“ශතවර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකාව ජලයේ වටිනාකම හඳුනාගෙන තිබෙනවා. අද දේශගුණික රටාවන් වෙනස් වෙමින් පවතින අවස්ථාවක, එම ඥානය වෙන කවරදාටත් වඩා වැදගත්,” යනුවෙන් සංගක්කාර පවසා තිබේ.

ස්වභාවධර්මය දැනටමත් අපට ලබාදෙන සම්පත උපයෝගී කරගනිමින් පවුල්, පාසල් සහ ප්‍රජාවන්ට දේශගුණික වෙනස්කම්වලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරගැනීමට වැසි ජලය රැස් කිරීම උපකාරී වන බවද ඔහු පෙන්වා දෙයි.

“සරල නමුත් දිගුකාලීන බලපෑමක් ඇති විසඳුමක්” ලෙස වැසි ජලය රැස් කිරීම හඳුන්වන සංගක්කාර අවධාරණය කරන්නේ අද ආරක්ෂා කරන සෑම ජල බිඳුවක්ම ශ්‍රී ලංකාවේ අනාගත ජල සුරක්ෂිතතාව වෙනුවෙන් කරන ආයෝජනයක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *