වසර පහකට පසු ශ්‍රී ලංකා-කටාර් ඒකාබද්ධ කමිටුව යළි රැස්වෙයි

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා සැප්තැම්බර් 20 සිට 23 දක්වා නිල සංචාරයක් සඳහා කටාර් රාජ්‍යයට යාමට නියමිත අතර, එහිදී පැවැත්වෙන ශ්‍රී ලංකා-කටාර් ශ්‍රම හා විදේශ රැකියා සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ කමිටු රැස්වීම සඳහා ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දෙනු ඇත.

වසර පහකට වැඩි කාලයකට පසු මෙම ඒකාබද්ධ කමිටුව යළි රැස්වන අතර, රැකියා අවස්ථා පුළුල් කිරීම, ආරක්ෂිත හා විනිවිදභාවයෙන් යුත් බඳවා ගැනීම්, ශ්‍රමික සුබසාධනය හා ආරක්ෂාව, කුසලතා සංවර්ධනය සහ දෙරට අතර ආයතනික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව එහිදී අවධානය යොමු කිරීමට නියමිතය.

මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර පවතින සහයෝගීතාව සමාලෝචනය කරමින් ඉදිරි කටයුතු සඳහා නව පියවර ගැනීමට අවස්ථාවක් වනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා පැවසීය.

සංචාරය අතරතුර නියෝජ්‍ය අමාත්‍යවරයා කටාර් කම්කරු අමාත්‍ය ආචාර්ය අලි බින් සයීඩ් බින් සමීක් අල් මාරි මහතා සහ කම්කරු අමාත්‍යාංශයේ උපලේකම් ෂෙයිකා නජ්වා බින්ත් අබ්දුල්රහ්මාන් බින් නසර් අල් තානි මහත්මිය හමුවීමට ද නියමිතය.

එම සාකච්ඡාවලදී ශ්‍රම හා විදේශ රැකියා ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකා-කටාර් සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.

මීට අමතරව, කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් සහ නියෝජිතයන් ද හමුවීමට නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කරනු ඇත. එහිදී ඔවුන් මුහුණ දෙන ගැටලු සහ කටාර්හි ජීවත් වන හා රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ට බලපාන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීමටත්, ඔවුන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව ඉහළ නැංවීමටත් අවස්ථාවක් වනු ඇති බව අරුණ හේමචන්ද්‍ර මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *