ඉකුත් දෙසැම්බර් 28 වැනිදා සිට නියමු ව්‍යාපෘතියක් ලෙසින් ඇරඹි විදෙස් සංචාරකයන් ගෙන්වීමේ වැඩසටහන යටතේ මෙරටට එක්දහස් පන්සියකට අධික යුක්රේන සංචාරකයන් පිරිසක් ඊයේ (15) දිනය වන විට පැමිණ ඇති අතර ඉන් ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් විසිදෙලක්ෂ පනස් දහසකට වැඩි බවට වාර්තා වේ.
එසේ පැමිණි සංචාරකයන් අඩුම වශයෙන් දින දහයකට වැඩි කාලයක් මෙරට රැඳී සිටින අතර, ඉන් කොටසක් මේ වන විට සිට රට බලා ආපසු ගොස් තිබේ. ඔවුන් නවාතැන් ගත් හෝටල් කාමරයක වටිනාකම දිනකට ඇමරිකන් ඩොලර් 125-150ත් අතර වූ බවත් භාණ්ඩ, සේවා හා වෙනත් ස්ථානවල සංචාරය කිරීම් වලට එක් පුද්ගලයකු ඩොලර් සියකට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවත් එම නියමු ව්‍යාපෘතිය භාර උදයංග වීරතුංග මහතා පවසයි.
ඒ අනුව මෙරට මුදල් වලින් රුපියල් කෝටි 42කට වැඩි ආදායමක් එම සංචාරකයන්ගෙන් ලැබුණු බවද ඒ මහතා පවසා සිටියි.