Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ක්‍රිප්ටෝ සහ ඩිජිටල් ගනුදෙනු ගැන මහ බැංකුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ශ්‍රී ලංකාවේ පවතින නීතිමය රාමුව යටතේ, මෙරට නේවාසික පුරවැසියන් අතර සිදුවන දේශීය ගෙවීම් සහ ගනුදෙනු සඳහා කිසිසේත්ම අතථ්‍ය හෝ ඩිජිටල් වත්කම් (Digital Assets / Virtual Assets) භාවිත කළ නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා යළිත් අවධාරණය කළේය.

ඊයේ (03) පැවති ‘ශ්‍රී ලංකා ෆින්ටෙක් සැණකෙළිය’ (Sri Lanka FinTech Festival) අමතමින් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ, දේශීය ගනුදෙනුවලදී ශ්‍රී ලංකා රුපියල වෙනුවට ඩිජිටල් වත්කම් ආදේශ වීම වැළැක්වීමට සහ රටේ මූල්‍ය ස්වෛරීභාවය සුරක්ෂිත කිරීම සඳහා මෙම සීමා පැනවීම අතිශය අත්‍යවශ්‍ය සාධකයක් බවයි.

ඩිජිටල් වත්කම් ඇතුළු නැගී එන නවීන තාක්ෂණයන් හරහා මූල්‍ය ක්ෂේත්‍රයට නව අවස්ථා උදාවන බව පිළිගත් ඒ මහතා, ඒ වෙනුවෙන් පැහැදිලි රෙගුලාසි සහ ප්‍රමාණවත් නීතිමය ආරක්ෂණ ක්‍රමවේද තිබිය යුතු බව පෙන්වා දුන්නේය. තාක්ෂණයේ දියුණුවත් සමඟ මූල්‍ය නියාමනයන්ගේ පැහැදිලිභාවයද ඒ හා සමානව වර්ධනය විය යුතු බවත්, මූල්‍ය ස්ථාවරත්වයට හානි නොවන අයුරින් වගකීම් සහගත නවෝත්පාදනයන් දිරිමත් කළ යුතු බවත් ඔහු පැවසීය.

පාරිභෝගික අවදානම් සහ සයිබර් තර්ජන

ඇතැම් ඩිජිටල් වත්කම්වල පවතින අධික මිල උච්චාවචනයන් (Price volatility) හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි මූල්‍ය අවදානමකට ලක්විය හැකි බවත්, නීතිවිරෝධී මූල්‍ය ගනුදෙනු සඳහා ඒවා පහසුවක් විය හැකි බවත් මහ බැංකු අධිපතිවරයා අනතුරු ඇඟවීය.

මීට අමතරව මූල්‍ය තාක්ෂණය (FinTech) සමඟ බැඳී පවතින සයිබර් ප්‍රහාර, මෙහෙයුම් බිඳවැටීම්, වංචාවන්, පුද්ගලික දත්ත කාන්දු වීම් සහ පාරිභෝගික ආරක්ෂාව ප්‍රමාණවත් නොවීම වැනි අවදානම් රැසක් පිළිබඳවද ඔහු අවධානය යොමු කළේය. ශ්‍රී ලංකාව ඩිජිටල් මූල්‍ය සේවාවන් පුළුල් කරන අතරතුර රටේ මූල්‍ය ස්ථාවරත්වය කිසිදු අයුරකින් පාවා නොදිය යුතු බව ඔහු දැඩිව කියා සිටියේය.

නවෝත්පාදනයන්ට මහ බැංකුවෙන් දොර ඇරෙයි

කෙසේවෙතත්, මූල්‍ය නවෝත්පාදනයන් සඳහා මහ බැංකුව නිරන්තරයෙන් විවෘතව පසුවන බව සඳහන් කළ ආචාර්ය වීරසිංහ මහතා, සුදුසුකම් ලත් නව්‍ය මූල්‍ය විසඳුම් ආරක්ෂිත පරිසරයක් තුළ අත්හදා බැලීම සඳහා ‘FinTech Regulatory Sandbox’ නියාමන ක්‍රමවේදය දැනටමත් හඳුන්වා දී ඇති බව පැවසීය.

මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව, මහජන විශ්වාසය සහ පාරිභෝගික ආරක්ෂාව ප්‍රමුඛත්වයේ තබමින්, මූල්‍ය තාක්ෂණික දියුණුව සහ සාධාරණ වෙළෙඳපොළ තරගකාරීත්වය දිරිමත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

ඔබේ අදහස