බෞද්ධ උපදේශක සභාව රැස්වේ – නැගෙනහිර පුරාවස්තු සුරැකීමට ජනපති පියවර ගනී

නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කිරීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

පුරාවස්තු විනාශය පිළිබඳව විවිධ පාර්ශ්වයන් මේ වනවිට කරුණු ඉදිරිපත් කර ඇති අතර මේ සියල්ල සැලකිල්ලට ගෙන ඓතිහාසික ස්ථාන කේන්ද්‍රකර ගනිමින් ඒවා ආරක්ෂා කර ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහයෙන් ක්‍රියාවට නංවන බව ජනාධිපති තුමා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසූයේ සෑම මසකම තුන්වැනි සිකුරාදා රැස්වන බෞද්ධ උපදේශක සභාව දෙවන වරට ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අවස්ථාවේදීයි.

බුදු දහමට සහ ත්‍රිපිටකයට පටහැනි ඇතැම් භික්ෂු ක්‍රියාකාරකම් නිසා ශාසන කතිකාවතක අවශ්‍යතාව පිළිබඳව මහා සංඝරත්නය දීර්ඝ වශයෙන් ජනාධිපති තුමා දැනුවත් කළහ. ඒ ගැන ගත යුතු ක්‍රියාමාර්ග සහ යෝජනා ඉදිරිපත් කළහොත් තම ධූර කාලයේ දී ඊට අවශ්‍ය පිළියම් යෙදිය හැකි බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කරන ලදි.

ලොව සියලු රටවල් කොවිඩ් 19 අභියස දරුණු ලෙස ඇද වැටෙමින් ඇති අවස්ථාවක රටේ සමස්ත ජනතාව රැක ගනිමින් ජනපති තුමා ඇතුළු රජය ඉටු කරන මෙහෙවර මහා සංඝරත්නයේ ප්‍රශංසාවට ලක් විය.

එමෙන්ම රට පුරා පැතිර ඇති මත්ද්‍රව්‍ය උවදුර මර්දනයට පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව මහා සංඝරත්නය එහිදී අවධාරණය කරන ලදී. ඊට රජයට මෙන්ම මහා සංඝරත්නයටද විශාල වගකීමක් ඇති බව උන්වහන්සේ පැවසූ අතර ජනාධිපතිවරයා එහිදී පැවසූයේ පසුගිය කෙටි කාලය තුළ රට තුළට ගෙන ආ මත්ද්‍රව්‍ය අතිවිශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකවූ බවත්, පවතින තත්ත්වය උපරිමයෙන් පාලනය කර මත් උවදුර තුරන් කිරීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට කටයුතු කරන බවත්ය.

ජාතික ආරක්ෂාව ගැන තමා සතු වගකීම උපරිමයෙන් ඉටුකරන බවත් ඒ සඳහා දක්ෂ සහ හැකියාව සහිත නිලධාරීන් පත්කර ඇති බවත්, ජනාධිපතිවරයා උන්වහන්සේලාට පෙන්වා දුන්නේය. බුද්ධි අංශ ශක්තිමත් කර පූර්ණ බලතල ලබාදී තිබෙන අතර සියලු අන්තවාදී හා ත්‍රස්තවාදී කණ්ඩායම් විමර්ශනය කිරීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් දී ඇති බවත් අවධාරණය කළේය. රණවිරු සැමරුම් උළෙලේදී ජනාධිපතිතුමා සිදු කළ කථාව පිළිබඳව මහා සංඝරත්නයේ ප්‍රසාදය පළ කළ අතර ජනාධිපතිතුමාට ඒ පිළිඹද ආශිර්වාද පළ කළහ.

ව්‍යාකූල වූ සමාජය ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට මහා සංඝරත්නය සතුව විශාල වගකීමක් පවතින බව උන්වහන්සේ අවධාරණය කළහ. භික්ෂූන් වහන්සේ සහ දේශපාලනඥයන් අතර ගැටුම් අවුළුවන මාධ්‍ය හැසිරීම එහිදී මහා සංඝරත්නයේ විවේචනයට ලක් විය.

ලොව සියලු රටවල් කොවිඩ් පරාජය කිරීමට රජය ගත් පියවර අගයද්දී විපක්ෂය ඉතා කුහක ලෙස සියලු කටයුතු හෙළා දැකීම පිළිකුල් සහගත බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

කොවිඩ් වසංගතයෙන් ව්‍යාකූලත්වයට පත් සමාජය ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමේ දී මහා සංඝරත්නය සතුව විශාල වගකීමක් ඇති අතර, ඒ සඳහා භික්ෂුන් වහන්සේගෙන් සැදුම් ලත් කමිටුවක් ඉදිරියේ දී පත් කර නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව උන්වහන්සේ අවධාරණය කළහ.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, මල්වතු විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල, මල්වතු විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද, රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන, අමරපුර ධර්මරක්ෂිත පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මැටරඹ හේමරතන, සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචර්ය කුඹුරුගමුවේ වජිර යන හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියහ. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ද සාකච්ඡාවට එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *