බැංකු පෞද්ගලීකරණය සම්බන්ධව පාඨලී චම්පික රණවක මහතා අදහස් දක්වයි.

බැංකු විනාශ කළ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක නොකර බැංකු පෞද්ගලීකරණය කිරීම අර්බුදයට විසඳුමක් නොවන බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමෙන් සියල්ල විසඳෙන්නේ නැති බව ද ඒ මහතා පෙන්වා දෙයි.

රාජ්‍ය වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, මුදල් ඇමැති ලෙස සිදු කළ අයවැය කතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේ දී අදහස් දක්වමින් රණවක මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, රාජ්‍ය ආයතන සියල්ලම කළමනාකරණ විගණනයකට යටත් කළ යුතු බවය. එමෙන්ම ‘එක වැඩකට එක ආයතනයක්’ ප්‍රතිපත්තිය යටතේ කටයුතු කිරීමේ වැදගත්කම හෙතෙම පැහැදිලි කළේ එමගින් රටේ රාජ්‍ය ආයතන ප්‍රමාණය 2/3 ක පමණ ප්‍රමාණයක් දක්වා අඩු කළ හැකි බව පෙන්වා දෙමිනි.

ඊට අමතරව ආයතන ඇගයීමේ ක්‍රියාවලියක් ඇති කොට, දෙපාර්තමේන්තු ප්‍රධානීන් පටන් ‘වැඩ විගණනයක්’ සිදුකිරීම මගින් රාජ්‍ය සේවයේ කාර්‍යක්ෂමතාවය වැඩි දියුණු කරගැනීමේ හැකියාව රණවක මහතා පෙන්වා දුන්නේ, තමන් අමාත්‍යවරයෙකු ලෙස සිදු කළ කාර්‍යභාරය පිළිබඳ ප්‍රායෝගික උදාහරණ සහිතව කරුණු දක්වමිනි. රාජ්‍ය ආයතනවල තාක්ෂණික කාර්‍යක්ෂමතාව ඉහළ නැංවීම සහ නව ආදායම් ප්‍රභවයන් හඳුනාගැනීම සම්බන්ධයෙන් ද රණවක මහතා තම යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා;

“ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අයවැය ප්‍රකාශනයට අනුව 2022 වසරේ සියලු ලැබීම් රුපියල් බිලියන 2384 යි. ණය ඇතුළු සියලු වියදම් රුපියල් බිලියන 6222යි. ඒ කියන්නේ එක රුපියලක ආදායමකට රුපියල් දෙකයි සත හැටක වියදමක් එතුමාගේ අයවැයේ තියෙනවා. පසුගිය අප්‍රේල් 12 වෙනිදා රජය විදේශ ණය ගෙවීම අත්හිටුවා ප්‍රධාන මූල්‍ය ආයතන, ඒ කියන්නේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් බැංකුව හැරෙන්න, අනිත් සියල්ලේ ණය ගෙවීම ආපසු කරන්නේ නෑ කියා ප්‍රකාශයක් කළා. මා දන්නෑ මේ වියදමට ඒ අත්හිටවූ ණයත් ඇතුළත්ද නැද්ද කියන එක. ඒ අත්හිටවූ ණය ප්‍රමාණය මේ වසරේ ඩොලර් බිලියන 4 කට වැඩි දැවැන්ත ප්‍රමාණයක්. ඒක නිසා මේ ඉදිරිපත් කරලා තියෙන අයවැය ඒක ඇතුලත්ද නැද්ද කියලා අපිට මං හිතන්නේ මුදල් ඇමතිතුමා, ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි කියලා මම හිතනවා.”

“මම ප්‍රායෝගිකවාදියෙක්. සියලු දේ රාජ්‍ය අංශය කරන්න ඕනැයි කියලා මම විශ්වාස කරන්නෑ. ඒ වගේම රාජ්‍ය අංශයේ ආයතන පුද්ගලීකරණය කිරීමෙන් සියලු ප්‍රශ්න විසඳනවයි කියලත් මම විශ්වාස කරන්නෙ නෑ. මා දරපු සෑම අමාත්‍යාංශයක්ම, සෑම රාජ්‍ය ආයතනයක්ම විධිමත් මූල්‍ය කළමනාකරණයකට ලක් කරලා ඒවා ලාභ උපයන ස්ථාන බවට පරිවර්තනය කරලා තියෙනවා. අද මේ විශාල ප්‍රශ්නගත ලංකා විදුලිබල මණ්ඩලය අවසාන වශයෙන් ලාභ ලැබුවේ මා ඒ ඇමතිවරයා හැටියට ඉන්න කාලේ 2015. ඒ වගේම ඛනිජ තෙල් නීති සංස්ථාවේ අපිට පුළුවන් වුණා කෝටි 6700 ක ප්‍රතිලාභ ලබාදෙන්න ජනතාවට පෙට්‍රල්, භූමිතෙල්, ඩීසල් මිල අඩු කරලා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධන සංස්ථාව, වෝටර්ස් එජ් හෝටලයේ මේ සියල්ලේම ආදායම් දෙගුණ තෙගුණ කරලා ඒවා ලාභ උපයන ස්ථාන බවට පරිවර්තනය කරන්න පුළුවන් වුණා. ඒ නිසා මා මෙතන කතා කරන්නේ හිතලුවක් නෙවෙයි. මේ රාජ්‍ය ආයතන ප්‍රායෝගිකව කරලා පෙන්නපු කෙනෙක් හැටියටයි.

ජනාධිපතිවරයාගේ අයවැය මගින් රාජ්‍ය අංශයේ වියදම අඩු කරගැනීම සහ කාර්‍යක්ෂමතාව නැංවීම සඳහා සිදු කරන යෝජනා ක්‍රියාත්මක කිරීම සහ ඒ හා සම්බන්ධයෙන් අදහස් දැක්වූ, පාඨලී චම්පික රණවක මහතා;

“අපි කුමක්ද කළ යුත්තේ?

1. දහසකට වැඩි රාජ්‍ය ආයතන සියල්ලම කළමනාකරණ විගණනයකට ලක් කළ යුතුයි

“එක වැඩකට, එක ආයතනයයි කියන ප්‍රතිපත්තිය යටතේ මේ රාජ්‍ය ආයතන ප්‍රමාණය 2/3 කින් අඩු කරන්න පුළුවන්. මා කෝප් සභාවේ සභිකයෙක්. අපි දැක්කා පොල් සංවර්ධනයට ආයතන 5ක් තියෙනවා. රජයේ ඉංජිනේරු සේවාවන් කිරීම සඳහා ආයතන පහක් තියෙනවා. මේ වගේ එක ම කාර්යය සඳහා විවිධ ආයතන ගණනාවක් තියෙනවා. එක වැඩකට, එක ආයතනයයි කියන ප්‍රතිපත්තිය යටතේ, රාජ්‍ය ආයතන ප්‍රමාණයෙන් 1/3 ක් අපට ඉවත් කරන්න පුළුවන්. අපි විධිමත් කළමනාකරණ විගණනයක් කළොත්.

2. ආයතන ඇගයීමේ ක්‍රියාවලියක්.

මේක විටින් විට හඳුන්වා දුන්නට ක්‍රියාත්මක වෙන්නෑ. නමුත් මා පාලනය කළ සියලු අමාත්‍යාංශවල මේ ආයතන ඇගයීමේ ක්‍රියාවලිය අපි අඳුන්වලා දුන්නා. හැමෝම කතා කරන Key Performance Indicator/INDEX(KPI) අපි අඳුන්වලා දුන්නා සියලුම දෙපාර්තමේන්තු ආයතන වලට. ඒ වගේම ජාත්‍යන්තරය පිළිගත් Balance Score Card (BSC) ක්‍රමවේදය හඳුන්වලා දුන්නා මේ ඇගයීමේ ක්‍රියාවලියට. ඒ මගින් ඒ ආයතනවල තාක්ෂණික ප්‍රතිදානය ඉහළ දමන්න අපට පුළුවන්කම ලැබුණා. ඒ වගේම අපට ගැලපෙන ක්‍රම ගණනාවක්ම නිර්මාණය කරගන්න පුළුවන් හැකියාව තියෙන නිලධාරීන් රාජ්‍ය පරිපාලන සේවයේ ඉන්නවා. ඒ අය යොදවලා මේ ඇගයීමේ ක්‍රියාවලිය ස්වාධීනව සිදු කළ යුතු වෙනවා.

3. පුද්ගලිකව ඒ ඒ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සිට ඒ අයගේ වැඩ විගණනය කිරීමක් අවශ්‍යයි.

ඒ පුද්ගල වැඩ විගණනයෙන් පස්සේ ඕනේ විදේශගත වෙන්න ඉඩ හසර ලබා දෙන්න. නැත්නම් මොකද වෙන්නේ? මේ රාජ්‍ය ආයතන වල වැඩ කරන, කාර්යක්ෂම, ඉතාම සුළු පිරිසක් විදේශගත වුණාට පස්සේ, මේ රාජ්‍ය ආයතනවල ඒ මානව සම්පත නැත්තට නැතිවෙලා ගිහිල්ලා, මේවා සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්න පුළුවන්. ඒ නිසා, මේ වැඩ විගණනයෙන් පස්සේ, අත්‍යවශ්‍ය නොවන වැඩක් පිළිබඳව වැඩි වගකීමක් නැති පිරිසට පමණක් විදේශගත වෙන්න ලබා දිය යුතුයි. අවශ්‍ය නම් නම් විශ්‍රාම යාමට අවස්ථාව ලබා දිය යුතුයි. එහෙම නැතුව හැකියා පූර්ණ පිරිස විදේශ ගත වුණොත් රාජ්‍ය ආයතන මීටත් වඩා කඩා වැටෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේ පුද්ගල ඇගයීමට දූෂණ මර්දනය, ඒ වගේම කාර්යක්ෂමතා කඩඉම් කරන අයට, වැටුප් වර්ධක, උසස්වීම් ලැබෙන ක්‍රමවේදයක් රාජ්‍ය අංශයට අනිවාර්යෙන්ම හඳුන්වා දිය යුතුයි. එහෙම නැත්නම් වයසට යනකොට ඉබේම උසස්වීම ලැබෙනවා. වයසට යනකොට ඉබේම දීමනාව ලැබෙනවා. වැටුප් වර්ධක ලැබෙනවා. ඒ නිසා වැඩ කළත් එකයි, නොකළත් එකයි, ඒ තත්වය වෙනස් කරන, ඇගයීම් ක්‍රියාවලියක් රාජ්‍ය අංශයට අනිවාර්යෙන්ම හඳුන්වා දිය යුතුයි.

4. තාක්ෂණික කාර්යක්ෂමතාවය

මේක දැන් ඉතා අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. විදුලිය, ජලය, ප්‍රවාහනය, අනෙකුත් ආයතනික වියදම් කළමනාකරණය කිරීම. මේ සඳහා අපි 2011/12 වර්ෂවල, ලංකා විදුලිබල මණ්ඩලයෙන්, හඳුන්වා දුන්නා සෑම ආයතනයකටම බලශක්ති කළමණාකරුවෙක්. ඒ මගින් අපට පුළුවන්කම ලැබුණා, 4% කින් විදුලිය ඉතිරි කරගන්න. මෙන්න මෙවැනි ක්‍රමවේදයක් අද සෑම ආයතනයකම දැනටම, ඉන්න නිලධාරියෙක් පුහුණු කරලා ඒ කටයුත්ත සිදු කළ යුතුයි.

5. නව ආදායම් ප්‍රභව හඳුනාගන්න ඕනේ.

විශේෂයෙන්ම අපේ ආරක්ෂක හමුදා සඳහා කුඹුරු කොටන්නයි, කාණු කපන්නයි නෙවෙයි. මේ ආරක්ෂක හමුදා විධිමත්ව අපි යොදාගත්තා නම් නව ආදායම් ප්‍රභව විශාල ප්‍රමාණයක් ගොඩනගා ගැනීමට හැකියාව තිබුණා. විශේෂයෙන්ම නාවික හමුදාවේ කුඩා බෝට්ටු අංගනය සිදුකළ මෙහෙවර එක්ක ජාත්‍යන්තර ඉල්ලුමක් හටගත්තා. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පස්සේ අපි ගොඩනඟපු සන්නද්ධ රථ, ඇතැම් ආයුධ වලට ජාත්‍යන්තර පිළිගැනීමක් ආවා. නමුත් ඒවා පුද්ගලික අංශය ජාවාරම්කාරයින්ට ලබා දුන්නා මිසක් ඒවා අදායම් ගොඩනගන තැනකට ගොඩ නැඟුවේ නෑ. ඒ නිසා අපේ ශ්‍රී ලංකා යුද හමුදාව සුහුරු හමුදාවක් බවටයි දැන් පරිවර්තනය විය යුත්තේ. ඒ සඳහා විශේෂ අවධානයක් අපි යොමු කළ යුතු වෙනවා. ඒ වගේම මේ පැරණි ලිබරල්කරණ ප්‍රතිසංස්කරණවලින් බොහෝ ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. මේ වර්තමාන කඩාකප්පල් වෙලා තියෙන තත්වය යටතේ.

දැන් යෝජනා කරලා තියෙනවා. ප්‍රධාන බැංකුවල 20% ක් ඒවායේ තැන්පත්කරුවන්ට හා සේවකයින්ට ලබා දෙන්න. ලංකා බැංකුවෙත්, මහජන බැංකුවෙත් තියෙන බොල් ණය ප්‍රමාණය පමණක් රුපියල් බිලියන 500 කට වැඩියි. ඒවා ප්‍රධාන වශයෙන්ම පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරු, ඇමැතිවරු ඒ බොල්ණය ගොඩේ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, රජයට ඒවායේ තැන්පතු වලින් ලබාදීලා තියෙන ප්‍රමාණය 50% ඉක්මවලා තියෙනවා. මේ දෙකේම සම්පූර්ණ වත්කම් ප්‍රමාණය ට්‍රිලියන 5 කට වැඩියි. ඒ කියන්නේ වාර්ෂික ආණ්ඩුවේ වියදම් ප්‍රමාණයට වැඩි මේ ප්‍රධාන බැංකු දෙකේ වත්කම් ප්‍රමාණය. නමුත් ඒවා ආණ්ඩුවට ඒවායේ ණය ලබාදීලා තියෙනවා. ඒ නිසා ඒවා අර්බුදයට ගිහින් තියෙනවා ඒ නිසා ඒවා අර්බුදයට යවපු නිලධාරීන් විධිමත් ආකාරයේ පරීක්ෂණයක් කරලා විධිමත් වෘත්තීය මට්ටමක් ඒවා තුළ ඇති කෙරෙන්නේ නැතුව මේ 20% වික්කයි කියලා මේ බැංකු වලට කිසිම සෙතක් එන්නෑ. අර දූෂිත දේශපාලන හෙන්චයියන්ම නම් අර පැරණි අවිද්‍යාත්මක ක්‍රමවේදවලටම නම් මේ බැංකු පවත්වාගෙන යන්නෙ.

ලංකා විදුලිබල මණ්ඩලයේ තත්ත්වෙත් ඒකයි. 2002 දි කෑලි 6 කට කැඩුවයි කියලා කිසිම කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමක් වුණේ නෑ. දැන් කෑලි 7 කට කඩන්න යනවා. ඒකෙන් වෙන්නෙත් අලුත් ජී. එම්. ලා හත් දෙනෙක් එකතු වෙනවා. අලුත් කාර්යාල හතක් ඇතිවෙනවා මිසක් අලුත් වැය බරක් ඇති වෙනවා මිසක් ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂම වෙන්නේ නෑ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙත් තත්ත්වය ඒකයි. මේ අපි පත්වෙලා තියෙන බංකොලොත් තත්වය යටතේ ආයෝජකයෙක් ඇවිල්ලා රුපියල් වලින් උපයලා, ඩොලර් වලින් ආපහු ගෙනියන්න කිසිම ආයෝජකයෙක් එන්නේ නෑ.

ඒ නිසා මේ අලුත් තත්වය තේරුම් අරගෙන මේ ප්‍රතිසංස්කරණය කිරීමෙන් ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියන එකට ඉඩක් නැති බව ප්‍රකාශ කරන්න ඕනේ.

දැන් මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡා යනවා. අපි මතක තබා ගන්න ඕනේ මේ මූල්‍ය අරමුදලේ ප්‍රෝග්‍රෑම් එකකට ඇතුල් වෙන්න අපට අවුරුද්දක්, දෙකක් ගත වෙන්න පුළුවන්. එතෙක් අපි කරන්නේ කොහොමද කියන එකත්, එවැනි ආකාරයකට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපට නොහැකි වුණොත්, විශේෂයෙන්ම අපගේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න නොහැකි වුණොත්, (දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න බැහැ මේ මොහොතේ. මොකද, බැංකු දෙකත්, ඒ වගේම සේවක අර්ථසාධක අරමුදලත් බිඳ වැටෙන නිසා,) අපි විකල්ප මගක් යුතුයි. ඒ සඳහා සාකච්ඡාවක් මේ පාර්ලිමේන්තුවේ ඇති කළ යුතුයි.

Leave a Reply

Your email address will not be published.