නන්දලාල්

‘‘මහ බැංකුව පිහිට වූයේ ලාභ ගන්නම නොවේ‘‘ – බැංකු අධිපති

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා  මහ බැංකුවේදී  ප්‍රකාශ කළේය.

ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදි ලාබ පාඩු ලැබිය හැකි බවත් වැදගත් වන්නේ ලාබ ලැබුවාද පාඩු ලැබුවාද යන්න නොව ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි වූවා ද යන්න බව මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

මහ බැංකුව පාඩු ලැබූ වර්ෂ මෙන්ම ලාබ ලැබූ වර්ෂද තිබූ බවත් පසුගිය වසරේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දිනකදී රුපියල් බිලියන 600 ක පමණ පාඩුවක් මහ බැංකුවට සිදුවූ නමුත් ඉන් ජනතාවට යහපතක් වූ බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මහ බැංකුව පාඩු ලබන අසාර්ථක ආයතනයක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රවරයෙකු කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධව අදහස් දක්වමින් ඔහු ඉහත අදහස් පළ කළේය.

මේ වනවිට රජය සහ බැංකු ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති හේතුවෙන් රටේ යම් කිසි ආකාරයක සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් ඇතිවී තිබෙන බවත් කෙටිකාලීනව ළඟා කරගත් එම ස්ථාවරත්වය දීර්ඝ කාලීනව පවත්වාගෙන යා යුතු බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

කුමන රජයක් පැමිණියද මෙම ප්‍රතිපත්ති ඉදිරියට රැගෙන යා යුතු බවත් එසේ නොවූහොත් නැවැත ආර්ථිකය කඩා වැටීමේ අවදානමක් මතුවනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *