2019 වර්ෂයේදී මෙරට සිදුවූ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුණ හොත් තමා අන්තර්ජාතික අධිකරණයකට යෑමට සූදානම් බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඊයේ (11) පවසා සිටියේය.
උන්වහන්සේ පවසා සිටින්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි නමුත් මේ වෙනතෙක් එය නොලැබුණු බවයි.
අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළහ.
“යම් යම් දේවල්වල සත්‍යතාව අපි සොයා ගත යුතුමයි. ඒ නිසා අපට මේක බලාගෙන ඉන්න බෑ. හැකි ඉක්මනින් ඒකෙ පිටපතක් ලැබෙන්න සැලැසුවහොත් ඒ ප්‍රශ්නයට විසඳුම් සොයා ගන්න පුළුවන්. පාස්කු ප්‍රහාර කොමිසමට මම සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී කොමිසමෙන් ඉල්ලීමක් කළා ප්‍රහාරය වළක්වන්නට කටයුතු නොකරපු අය ගැන විතරක් නෙමෙයි මේ ප්‍රහාරය පිටුපස ඉන්නේ කවුද කියලාත් හොයන්න කියලා. ඒ ඉල්ලීමට සුභවාදී ප්‍රතිචාරයක් කොමිසම විසින් දක්වයි කියලා මා බලාපොරොත්තු වෙනවා.” යැයි කාදිනල් හිමිපාණෝ පැවසූහ.
පාස්කු ප්‍රහාරයට අදාළව ශ්‍රී ලංකාව තුළ නීතිමය වශයෙන් යුක්තිය ඉෂ්ඨ නොවුණොත් අන්තර්ජාතික අධිකරණයකට ගිහින් යුක්තිය ඉල්ලන්න ඔබ වහන්සේ සූදානම් දැයි මාධ්‍යවේදියකු ප්‍රශ්ණයක් නැගීය. එහිදී කාදිනල් හිමිපාණන් පවසා සිටියේ අපේ නායකයන් එහෙම දෙයක් වෙන්නට ඉඩ නොතියයි කියලා තමා බලාපොරොත්තු වන බවත්, එසේ නොවුණහොත් අප අන්තර්ජාතික සංවිධානවල සහයෝගය බලාපොරොත්තුවෙන් කටයුතු කරන බවත් පැවසූහ.