ප්‍රවාහන සේවා සංවර්ධනය බස් රථය හෝදන තැනින් පටන් ගන්න – ජනපති කියයි

ගුණාත්මක සේවාවක් ලබා දෙමින් ප්‍රවාහන සේවවා නගාසිටුවීමේ පළමු පියවර ලෙසට මගීන්ට හොඳ මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමට අවශ්‍ය පසුබිම සකසා දියයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කර සිටී.

පෝස්ටර් ඇලවීම නතර කිරීමට ගත් කුඩා තීරණයෙන් රටේ සියලු නගර පවිත්‍රව තබා ගැනීමට හැකි වූ බවත්, ඒ අනුව “ඉතා කුඩා ආරම්භයකින් ලොකු වෙනසක් කරන්න පිළිවන්. බස් රථය සෝදා පිරිසිදු කර මගීන්ට අසුන්ගෙන යාමට සැලසීම හෙටම පටන් ගන්න” යැයි ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දී තිබේ.

ජනාධිපතිතුමා මේ අදහස් පළ කර ඇත්තේ ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (18) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

මෝටර් රථයෙන් පැමිණ එය නතර කොට තබා බස් රථයෙන් සේවා ස්ථානයට ගමන් කිරීමේ ක්‍රමය (Park & drive) කඩිනමින් ක්‍රියාත්මක කර මාර්ග තදබදය විසඳීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ගමනා ගමන මණ්ඩලය බස් ධාවනය සේවාවක් ලෙස පවත්වාගෙන ගියද පාඩු නොලබන ආයතනයක් විය යුතුයැයි එතුමා කීය. ග්‍රාමීය ප්‍රදේශවල බස් රථ ධාවනය පිළිබඳව රජයේ සහ පෞද්ගලික දෙඅංශයේම අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.

දුම්රිය සහ බස් රථ ඒකාබද්ධ සේවා සහ බස් රථ ඒකාබද්ධ ධාවන කාලසටහන නොපමාව ක්‍රියාවට නැංවිය යුතු බවටත්, ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා මූලිකව විසඳුම් දිය යුතු ක්ෂේත්‍ර හඳුනාගැනීමේ අවශ්‍යතාවයත් පෙන්වාදුන් ජනාධිපතිවරයා ඉදිරි පස් වසර තුළ ප්‍රවාහන සේවාව නගාසිටුවීමට දිගු සහ කෙටිකාලීන සැලසුම් සකස් කළ යුතු බවත්, ඒ අනුව නියම කරගත් ඉලක්ක වෙත ළගා වෙනවාද යන්න විමර්ශනය කිරීම ඉතා වැදගත් බවත් වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ජනතාවට වඩා හොඳ සේවාවක් සැලසිය හැකි පරිදි දුම්රිය මැදිරි අළුත්වැඩියා කිරීමට ද තීරණය මෙහිදී කෙරිණ. කොළඹ කොටුව සහ තවත් දුම්රිය ස්ථාන 04ක් ආදර්ශයක් ලෙස කඩිනමින් නවීකරණය කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මෙහිදී පැවසීය. එමෙන්ම දුම්රිය සංඛ්‍යාව වැඩි කිරීමෙන් වැඩි පිරිසකට කැලණිය වැලි දුම්රියෙන් ගමන් කිරීමට හැකි වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයටම පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය කඩිනමින් හඳුන්වාදීමට තීරණය කෙරුණු අතර, හොඳ තත්ත්වයේ ඇති සාමාන්‍ය බස් රථ අධිවේගී මාර්ගයේ ධාවනයට එක් කිරීමෙන් අඩු මුදලකට මගීන් විශාල පිරිසකට ගමන් පහසුකම් සැලසීමේ හැකියාවද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, ප්‍රවාහන ලේකම් එන්.බී. මොන්ටි රණතුංග යන මහත්වරු සහ ප්‍රවාහන අමාත්‍යාංශය සහ රාජ්‍ය අමාත්‍යාංශ යටතේ ඇති ආයතන ප්‍රධානීහූ, පෞද්ගලික බස් සංගම් නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *