“දුම්රිය සේවය පවත්වාගෙන ගිය නිලධාරීන්ට රජයේ සහ ජනතාවගේ ගෞරවය හිමිවිය යුතුයි” නියෝජ්‍ය ඇමති

පවතින දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතරතුර දුම්රිය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රාජකාරියේ නිරත වූ දුම්රිය නිලධාරීන් සහ සේවකයින්ගේ කැපවීම විශේෂයෙන් අගය කළ යුතු බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුෂ්කර තත්ත්වයක් පැවතියද, දුම්රිය සේවා පවත්වාගෙන යාම සඳහා රාජකාරියේ නිරත වූ සේවකයින්ගේ දායකත්වය විශේෂයෙන් ඇගයීමට ලක් කළ යුතු බවයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දිනයේ දුම්රිය ගමන්වාර 187ක් ක්‍රියාත්මක කර ඇති බවත්, යාල් දේවී ඇතුළු යාපනය බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය සේවාවද පවත්වාගෙන ගිය බවත් ඔහු සඳහන් කළේය.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක් නොවී රාජකාරිය සඳහා වාර්තා කළ සියලුම දුම්රිය සේවකයින්ටද නියෝජ්‍ය අමාත්‍යවරයා ස්තූතිය පළ කළේය.

දුම්රිය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඇතැම් නිලධාරීන් පැය 24කට ආසන්න කාලයක් අඛණ්ඩව සේවයේ නිරතව සිට ඇති බවත්, එහිදී මගී ආරක්ෂාවට සහ අනතුරු වැළැක්වීමට ප්‍රමුඛත්වය ලබාදී ඇති බවත් ඔහු පැවසීය.

සාමාන්‍ය තත්ත්වයේදී විශාල සේවක පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කළ යුතු ඇතැම් දුම්රිය මෙහෙයුම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතරතුර සීමිත සේවක පිරිසක් යොදාගෙන සිදු කිරීමට සිදුවූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

“මෙය සාමාන්‍ය රාජකාරියක් ලෙස සලකන්න බැහැ. දුෂ්කර අවස්ථාවකදී මහජන සේවාවක් පවත්වාගෙන යාමේ වගකීම භාරගත් නිලධාරීන් සහ සේවකයින් පැහැදිලිවම අගය කළ යුතුයි. ඔවුන්ට සමස්ත රජයේම සහ දුම්රියෙන් ගමන් කරන ජනතාවගේම ගෞරවය හිමිවිය යුතුයි,” යනුවෙන් ඔහු පැවසීය.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය සේවාවේ බාධාකාරී තත්ත්වයක් පැවතියද, මහජනතාව වෙනුවෙන් සේවාව ආරක්ෂා කරමින් එය පවත්වාගෙන ගිය සේවකයින්ට රජයේත් ජනතාවගේත් ස්තූතිය සහ ගෞරවය හිමිවිය යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *