ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය සහාය යටතේ දඹුල්ල-සීගිරිය සංචාරක ක්ෂේත්‍ර සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කර තිබේ.
තිරසාර සංචාරක ක්ෂේත්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ (STSDP) කොටසක් ලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ඊයේ (20) ආරම්භ කර ඇති අතර, ත්‍රිකුණාමලයද මෙම පුළුල් සංවර්ධන වැඩසටහනට ඇතුළත් වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 30ක ණය මුදලක් ලබාදී ඇති අතර, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ එය ක්‍රියාත්මක කෙරේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දඹුල්ල ප්‍රාදේශීය සභාව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඇතුළු ආයතන රැසක සහභාගීත්වයෙන් ඒකාබද්ධ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සංචාරක ගමනාන්තවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, සංචාරක ක්ෂේත්‍රයේ තරඟකාරීත්වය ඉහළ නැංවීම, නාගරික සේවා ශක්තිමත් කිරීම, ගමනාන්ත කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන සංචාරක කේන්ද්‍රස්ථාන නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු අතර වන බවයි.
එමෙන්ම සියලු ප්‍රජාවන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ සියලු දෙනා ඇතුළත් කරගත් සංචාරක පරිසරයක් නිර්මාණය කිරීමද ව්‍යාපෘතියේ අරමුණක් බව ඔහු සඳහන් කර තිබේ.
උපායමාර්ගික පිහිටීම සහ දැනට පවතින සංචාරක විභවය සැලකිල්ලට ගනිමින් මධ්‍යම පළාතේ දඹුල්ල-සීගිරිය සහ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය මෙම සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන සංවර්ධන ස්ථාන දෙක ලෙස තෝරාගෙන ඇත.
පැකේජ 01
පැකේජ 01 යටතේ ප්‍රධාන උප ව්‍යාපෘති පහක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අතර දඹුල්ල නව නගර බස් නැවතුම්පොළ වැඩිදියුණු කිරීම, සියවසම මාවත ප්‍රතිසංස්කරණය කිරීම, සීගිරි වැව සංවර්ධනය කිරීම, සීගිරියේ විදේශීය සංචාරකයන් සඳහා වාහන නැවැත්වීමේ ස්ථානය වැඩිදියුණු කිරීම සහ සීගිරිය කෞතුකාගාර පරිශ්‍රය හා එළිමහන් රංග පීඨය සංවර්ධනය කිරීම ඇතුළත් වේ.
මෙම උප ව්‍යාපෘති මාස 18ක කාලයක් තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා වන කොන්ත්‍රාත් වටිනාකම රුපියල් මිලියන 1,206කි.
පැකේජ 02
පැකේජ 02 යටතේ මාපාගල, පිදුරංගල සහ කළුදිය පොකුණ සංරක්ෂණය හා සංවර්ධනය කිරීම ඇතුළු තවත් උප ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එමෙන්ම රමාකැලේ සිට තල්කොටේ දක්වා කිලෝමීටර් 11ක් දිගින් යුත් උරුම මංපෙතක් (Heritage Trail) සංවර්ධනය කිරීමද මෙම පැකේජයට ඇතුළත් වේ.
මෙම වැඩසටහන් මාස 30ක කොන්ත්‍රාත් කාලයක් තුළ අවසන් කිරීමට නියමිත අතර, ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 1,085කි.


