ජාත්‍යන්තරය කියන හැම දෙයක්ම පිළිගන්න මෙරට රජය සූදානම් නෑ – විදේශ ඇමති

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඇඟිලි ගැසීමට දරන උත්සාහය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත්, දේශපාලන හා ආර්ථික ස්ථාවර බව ශක්තිමත් කරමින් මෙරට සියලු ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මෙරට රජය කැප වී සිටින බවත් විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කර සිටියේය.

ජාත්‍යන්තරය විසින් කියන සෑම දේම පිළිගැනීමට රජය සූදානම් නොමැති බවත් වත්මන් රජය සෑම අවස්ථාවකදීම කටයුතු කරන්නේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා වන පරිදි බවත් ඇමැතිවරයා පාර්ලිමෙන්තුවේදී ප්‍රකාශ කළේය. එමෙන්ම ඊළාම් රාජ්‍යයක් ශ්‍රී ලංකාවේ ගොඩනැඟීමට දැරූ උත්සාහයට සහයෝගය දුන් පිරිස් මේ වනවිට වෙනස් මුහුණුවරකින් එම උත්සාහයේ නිරතව සිටින බවද ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (25) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මෙහිදී අදහස් දක්වමින් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේ, මානව හිමිකම් කොමසාරිස්වරිය වූ මිෂෙල් බැච්ලේ ශ්‍රී ලංකාවට ‍එරෙහිව ඉදිරිපත් කළ වාර්තාව කොටස් 02ට බෙදිය හැකි බවයි. කොටි සංවිධානය සමග පැවති ගැටුමේදී ඔවුන් පරාජය වූ සමයේ නැති වූවේ යැයි කියන ජීවිත පිළිබඳ විභාග කිරීම සඳහා ඇති පැමිණිලි සහ පසුගිය රජය විශිෂ්ඨ ලෙස පරාජයට පත් කර රටේ ආරක්ෂාව සහ සෛවරීත්වය රැක දීම වෙනුවෙන් කටයුතු කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සම්බන්ධ විවේචන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *