ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යමින් පැවතියද, ජනතාව මත එහි සම්පූර්ණ බර පැටවීම වැළැක්වීම සඳහා සහනාධාර ලබාදෙමින් ඉන්ධන මිල පාලනය කිරීමට රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අකුරැස්සේ පැවති ජාතික ජන බලවේගයේ ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ගණන් අනුව ඔක්තෝබර් 1 වැනිදා සිට මෙරට ඉන්ධන මිල ඉහළ නැංවීමට සිදුවිය හැකි බවයි. එහෙත් එම මිල ඉහළ යාමේ බලපෑම අවම කිරීම සඳහා රජය සහනාධාර ලබාදීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
“ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල අනුව ඔක්තෝබර් මාසයේ ඉන්ධන මිල වැඩි කළ යුතුයි. නමුත් ජනතාව මත විශාල බරක් පැටවෙන අවස්ථාවක එය සම්පූර්ණයෙන්ම ජනතාව මත පැටවිය නොහැකියි. ඒ සඳහා රජය යම් සහනයක් ලබාදිය යුතුයි,” යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේ අතර, ඉදිරි අයවැය මගින් ඇතැම් බදු ඉවත් කිරීමට හෝ බදු සහන ලබාදීමට රජය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එම බදු සහන ජනතාව මත පවතින බදු බර ලිහිල් කිරීමේ අරමුණින් ඉදිරි අයවැය සැලසුම්වලට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කර තිබේ.


