මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නයාරු සුනිල් නමැත්තා ඇතුළු 12 දෙනෙක් රුපියල් කෝටි 260 කට අධික වටිනාකමෙන් යුත් මත්ද්‍රව්‍ය තොගයක් හා බෝට්ටු 3ක්ද සමගින් ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය මගින් ඊයේ (08) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී කොකේන් කිලෝග්‍රෑම් 200 ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 60 ක් අත්අඩංගුවට ගත් බව ඉන්දියාවෙන් ලැබෙන ආරංචි මාර්ග වාර්තා කරයි. මෙම මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති අතර අදාළ සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉන්දීය පොලිසිය භාරයට ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට පත්වූ බව කියන නයාරු සුනිල් නමැත්තා තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මොහු ධීවර බෝට්ටු කීපයක හිමිකරුවකු බවටත්, මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවටත් තොරතුරු වාර්තා වේ.