කොළඹ නාගරික කළාපය ආවරණය වන පරිදි කුළුණු මතින් දිවෙන දුම්රිය මාර්ග 04ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. මෙම දුම්රිය මාර්ග 04 ඉදි කිරීමේ මූලික අරමුණ වන්නේ මාර්ග තදබදය අවම කිරීමයි.
ඊයේ (30) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් බලශක්ති ඇමැති සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ මෙම දුම්රිය මාර්ග 04 ඉදිකරනු ලබන්නේ පෞද්ගලික සහ රජයේ ඒකාබද්ධ සංවර්ධන යෝජනා ක්‍රමයක් යටතේ බවයි.
එහිදී යෝජිත එක් දුම්රිය මාර්ගයක් රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වා කිලෝමීටර් 42ක දුරක් ආවරණය කෙරෙන අතර තවත් දුම්රිය මාර්ගයක් මොරටුව සිට නාරාහේන්පිට හරහා කැලණිය දක්වා ධාවනය කිරීමට නියමිතයි. එම දුම්රිය මාර්ගයේ සමස්ත දුර කිලෝමීටර් 28ක් වේ. කිලෝමීටර් 23ක දුරකින් යුතු අනෙක් දුම්රිය මාර්ගය කොට්ටාවෙන් ආරම්භ වී ඉසුරුපාය හරහා හුණුපිටිය දක්වා ධාවනය කෙරේ. කොළඹ වරාය නගරයෙන් ආරම්භ වී බොරැල්ල හරහා අතුරුගිරිය දක්වා තවත් දුම්රියක් ධාවනය කිරීමට නියමිත බව ද බලශක්ති ඇමැති සම කැබිනට් ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.