කොවිඩ් – 19 වෛරසය මර්දනය කිරීමට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරටට ගෙන්වීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඊයේ (22) දිනයේ ලැබිණ.
ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ මෙරට හදිසි භාවිතය සඳහා මේ එන්නත ගෙන්වීමට අනුමැතිය ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඊයේ (22) ලැබුණු බවත්, කොවඩ් මර්දනය සඳහා මෙරට පළමු වරට භාවිත කරන එන්නත මෙය බවට පත් වන බවත්ය.
භූතානය, නේපාලය, මාලදිවයින රටවල් මේ එන්නත පාවිච්චි කරන්නේ නම් ඇයි ශ්‍රී ලංකාව භාවිත නොකරන්නේ යනුවෙන් ඇතැම් අය ප්‍රශ්න කළ බවත් එම ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඉතා ඉක්මණින් මේ එන්නත මෙරටට ගෙන්වා ජනතාවට එන්නත් කිරීම කරන බවත් ඇමැතිවරයා පවසා සිටියේය.
මේ අතර කොවිඩ්-19 එන්නතද ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සකස් කර ඇති ගිවිසුමට අදාළව වැඩි දුර පැහැදිලි කිරීමක් තමන් වෙත යොමු කරන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට ඊයේ (22) දැනුම්දී තිබේ.