“කළු ඉරිදාව” ඇරඹෙයි

පාස්කු ප්‍රහාරය සිදුවී වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත්, ඒ සම්බන්ධයෙන් විධිමත්ව යුක්තිය ඉටු නොවීමට අදාළව “කළු ඉරිදාව” අද ක්‍රියාවට නැංවේ. අගරදගුරු පදවිය විසින් Black Sunday හෙවත් කළු ඉරිදාව තීරණය කරන ලද අතර, අද දින දිවයින පුරා දේවස්ථානවල දේව මෙහෙයට සහභාගි වන ජනතාව කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයන්ට සහභාගි වනු ඇත. දේව මෙහෙය අවසානයේ දේවස්ථානයෙන් පිටතට පැමිණි පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවයක් දක්වන ලෙසටයි අගරදගුරු පදවිය දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවලට දැනුම් දී ඇත්තේ.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති වින්ස්ටන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන් පැවසුවේ කරුණු 05 ක් මුල්කර ගනිමින් අද දිනයේ යාඥාවන් සිදු කරන බවයි.

ඒ අනුව, පාස්කු ඉරුදින ප්‍රහාරයේ සත්‍ය ලෝකයට හෙළි කරන ලෙසටත්, ඒ පිළිඹදව අපක්ෂපාතීව හා විනිවිදභාවයකින් යුතුව ක්‍රියාකර සාධාරණව කටයුතු කරන ලෙසට ජන නායකයින් මෙහෙයවීම පිණිසත්, මවුබිමේ මෙවැනි ව්‍යසනයන් යළි ඇතිනොවී ජනතාව ආරක්ෂා කිරීම පිණිසත්, මෙම ප්‍රහාරයෙන් මානසික හා කායිකව පීඩා විදින සියලුදෙනාගේ සහනය පිණිසත්, ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සියලු දෙනාට නිත්‍ය සාමය අත් වන ලෙසටත් යන කරුණු 5 මූලික කොටගෙන යාඥා මෙහෙයන් සිදු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *