ඉදිරි පස්වසර තුළ ඖෂධ දේශීයව නිෂ්පාදනය කර අපනයනය කිරීමේ ඉලක්කයට ළඟා වෙනවා – බැසිල්

ඉදිරි වසර පස් වසර ඇතුළත මෙරට ඖෂධ අවශ්‍යතාවය සපුරාලීමේ ඉලක්කය කරා ළඟා වෙමින්, අපනයනය ඉලක්ක කරගෙන නිෂ්පාදනය ඉහළ නැංවීමට රජයේ අවධානය යොමුව ඇතැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන මැති ඇමැතිවරුන් හා රජයේ නිළධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් 85%ක්ම විදේශයෙන් ගෙන්වීම සඳහා මේ වන විටත් රජය අතිවිශාල පිරිවැයක් දරණ බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ දේශීය අවශ්‍යතාවට සරිලන අයුරින් සහ අපනයන ධාරිතාවයෙන් යුත් කර්මාන්තශාලා පෞද්ගලික ආයෝජකයින් මඟින් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බවයි.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා දැවැන්ත ජනවරමක් ලබා දුන් ජනතාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැහැදිලි වෙනසක් අපේක්ෂාවෙන් සිටින බවත්, එම වෙනස උදාකිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල ආයතනවල සහ අපනයන ක්ෂේත්‍රයට අදාල ආයතනවල සහාය බලාපොරොත්තුවන බවත් බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටි ශ්‍රී ලංකාවට ඒ වෙනුවට ඉදිරි වසර පහක කාලය තුළ ඖෂධ අපනයන ක්ෂේත්‍රය තුළින් ඉදිරියට පැමිණීමේ හැකියාව ඇති බවද එහිදී බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *