ජාතික මහාමාර්ග පද්ධතියට අයත් නොවන මාර්ගවල පවතින අනාරක්ෂිත හා අවදානම් ස්ථාන හඳුනාගෙන ඒවා ආරක්ෂිත කිරීමට රුපියල් බිලියන 1.5ක ජාතික වැඩසටහනක් රජය විසින් ආරම්භ කර තිබේ.
ඒ සඳහා සෑම දිස්ත්‍රික්කයකටම රුපියල් මිලියන 60 බැගින් වෙන් කර ඇති අතර, දිස්ත්‍රික් මට්ටමින් අනතුරුදායක මාර්ග ස්ථාන හඳුනාගෙන අවශ්‍ය ආරක්ෂක පියවර ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් පාලන ආයතන සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සිදු කෙරිණි.
මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන් ඇතුළු නිලධාරීන් සහභාගි වූහ.
ජාතික මහාමාර්ග පද්ධතියට අයත් නොවන මාර්ගවල අනාරක්ෂිත හා අවදානම් ස්ථාන ආරක්ෂිත කිරීමට සුදුසු වැඩසටහනක් සකස් කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් 2026 මැයි 20 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ඒ සඳහා 2026 ජුනි 1 වනදා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
වැඩසටහනේ තාක්ෂණික කටයුතු සහ ප්‍රගති සමාලෝචනය අධීක්ෂණය කිරීමේ වගකීම මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වෙත පවරා ඇති අතර, ක්‍රියාත්මක කිරීමේදී පළාත් පාලන ආයතන වෙත අවශ්‍ය තාක්ෂණික මාර්ගෝපදේශ ලබාදීමටද එම සභාව කටයුතු කරනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ ජනාධිපතිවරයා සිය ධුරයේ දෙවැනි වසර සම්පූර්ණ කරන අවස්ථාවේදී මෙවැනි ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමට හැකිවීම වැදගත් අවස්ථාවක් බවයි.
“ජනතාව විසින් ජනතාව ආරක්ෂා කරන ආණ්ඩුවක් ගොඩනඟා තිබෙනවා. ඒ නිසා ජීවිත ආරක්ෂා කිරීමේ වගකීමත් ආණ්ඩුව සතුයි. මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පමණක් ප්රශ්නය විසඳන්න බැහැ. ඒ සඳහා ප්‍රායෝගික වැඩසටහනක් අවශ්‍යයි,” යනුවෙන් ඔහු පැවසීය.
මාර්ග අනතුරු හේතුවෙන් මිනිස් ජීවිත අහිමි වනවා පමණක් නොව, රටට විශාල ආර්ථික හා සමාජීය පිරිවැයක් දැරීමට සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එබැවින් මාර්ග ආරක්ෂාව රථවාහන නීති ක්‍රියාත්මක කිරීමකට පමණක් සීමා නොකර ජාතික ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
මාර්ගවල පවතින අනාරක්ෂිත භෞතික තත්ත්වයන් නිවැරදි කිරීම, ජනතාව දැනුවත් කිරීම සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සමඟම සිදු කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.
“අනතුරුදායක ස්ථාන හඳුනාගෙන ඒවා ආරක්ෂිත ස්ථාන බවට පත් කිරීම අත්‍යවශ්‍යයි. මෙම වැඩසටහනේ වැදගත්කම තිබෙන්නේ එතැනයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අත්සන් කළ අවබෝධතා ගිවිසුම් 2026 දෙසැම්බර් 31 වනදා දක්වා බලපැවැත්වෙන අතර, ප්‍රාදේශීය මට්ටමින් අනාරක්ෂිත මාර්ග ස්ථාන කඩිනමින් ආරක්ෂිත කිරීමට මෙම වැඩසටහන මගින් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමගින් මාර්ග අනතුරු අවම කර මාර්ග භාවිත කරන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණ වී තිබේ.


