ඇමරිකානු යුද හමුදා පැසිෆික් කලාපීය අණදෙනාගේ නියෝජ්‍ය අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් ජොයෙල් “JB” වොවෙල් මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ, දෙරටේ හමුදා අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් බවයි.
ලුතිනන් ජෙනරාල් වොවෙල් මහතා ශ්‍රී ලංකාවට පැමිණි ඉහළම නිලයේ ඇමරිකානු යුද හමුදා නිලධාරියා වන අතර, එය දෙරටේ යුද හමුදා අතර වර්ධනය වෙමින් පවතින සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ඇමරිකානු තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
ඔහුගේ සංචාරය ඔක්තෝබර් 1 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එහිදී ශ්‍රී ලංකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එම සාකච්ඡාවලදී දෙරටේ හමුදා අතර අන්තර්ක්‍රියාකාරී හැකියාව, හමුදා සූදානම සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන් වේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ හමුදා අභ්‍යාස සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතය.
මානුෂීය ආධාර සහ ආපදා ප්‍රතිචාර කටයුතු සම්බන්ධයෙන්ද දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.
මීට අමතරව, වෘත්තීය හමුදාවන් කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා දක්වන දායකත්වය පිළිබඳව මීළඟ පරපුරේ හමුදා නායකයන් අමතා අදහස් දැක්වීමටද ලුතිනන් ජෙනරාල් වොවෙල් මහතා නියමිතය.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති එරික් මේයර් මහතා පැවසුවේ, මෙම සංචාරය දෙරට අතර වර්ධනය වෙමින් පවතින ආරක්ෂක හවුල්කාරිත්වය පිළිබිඹු කරන බවයි.
පුහුණුව, අන්තර්ක්‍රියාකාරී හැකියාව සහ අර්බුදවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම කෙරෙහි දෙරට අවධානය යොමු කර ඇති බවද ඔහු සඳහන් කළේය.
මෙම සංචාරය මැයි මාසයේදී පැවති එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර භූමි හමුදා සාකච්ඡාවලින් අනතුරුව සිදුවන අතර, ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව සම්බන්ධ වීමට ඇමරිකාව දක්වන උනන්දුවද එමගින් තවදුරටත් පිළිබිඹු වන බව ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේය.


