ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඔක්තෝබර් 1 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය  වරෙන්තුවක් නිකුත් කළේය.

ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිපතිවරයා ගොනු කළ මෝසමක් අද කැඳවූ අවස්ථාවේදී උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කර තිබේ.

ඥානසාර හිමියන්ට මීට පෙර ලබාදී තිබූ ජනාධිපති සමාව අවලංගු කිරීමෙන් අනතුරුව, උන්වහන්සේට පනවා ඇති සිර දඬුවම ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් නියෝගයක් ඉල්ලා තිබේ.

අදාළ මෝසම විනිසුරුවරුන් වන මයාදුන්නේ කොරයා සහ ලක්මාලි කරුණානායක යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

නඩුව මුලින් කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා අසනීප තත්ත්වයක් හේතුවෙන් විවේක ගනිමින් සිටින බවයි.

එමෙන්ම, නීතිපතිවරයා විසින් ගොනු කර ඇති මෝසම අධ්‍යයනය කර කරුණු ඉදිරිපත් කිරීම සඳහා අමතර කාලයක් ලබාදෙන ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ මෙම කාරණය අපරාධ නඩුවකට අදාළ බැවින්, සැකකරු හෝ විත්තිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටියේ නම් වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි.

ඥානසාර හිමියන්ගේ නීතිඥවරයා මෝසම අධ්‍යයනය කිරීම සඳහා අමතර කාලයක් ඉල්ලා සිටීමෙන් අනතුරුව නඩු විභාගය කෙටි වේලාවකට කල් තැබිණි.

නඩුව යළි කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුව නිකුත් කළ අතර, ඔක්තෝබර් 1 වැනිදා උන්වහන්සේ අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *