සෞදි අරාබියේදී ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට මරණ දඬුවමක් ලබාදී ඇති බවට පළවන වාර්තා තහවුරු වන්නේ නම්, ඔහු සම්බන්ධයෙන් කරුණාවෙන් කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සෞදි අරාබි බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
‘X’ සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ “වචනයක් නිසා මිනිසෙකුගේ ජීවිතයක් අහිමි නොවිය යුතු” බවයි. එමෙන්ම අනෝජන් සම්බන්ධයෙන් සමාව ලබාදීමේ හැකියාව විවෘතව තබන ලෙසද ඔහු සෞදි බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.
සියවස් ගණනාවක් පුරා පැවත එන ආගමක් කිසියම් අපහාසාත්මක ප්‍රකාශයක් හේතුවෙන් දුර්වල නොවන බවත්, වචනයකට ප්‍රතිචාර ලෙස ජීවිතයක් අහිමි කිරීම මත එහි ශක්තිය රඳා නොපවතින බවත් ප්‍රේමදාස මහතා සිය සටහනේ සඳහන් කර තිබේ.
සෑම ශ්‍රේෂ්ඨ ආගමකම හදවතේ පවතින බව කියන කරුණාව සෞදි අරාබිය විසින්ද ප්‍රදර්ශනය කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
අනෝජන් සිවරාසා සම්බන්ධයෙන් පළව ඇති මරණ දඬුවම් වාර්තා මධ්‍යයේ ප්‍රේමදාස මහතා මෙම ඉල්ලීම සිදු කර තිබේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය 18 වනදා සඳහන් කළේ අනෝජන් සම්බන්ධ නඩු කටයුතු පිළිබඳව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොළඹ පිහිටි සෞදි තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් අඛණ්ඩව අවධානයෙන් පසුවන බවයි. මරණ දඬුවම පිළිබඳ වාර්තා තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර, අදාළ ලිඛිත අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින බවද අමාත්‍යාංශය පවසයි.


