ලොව විශිෂ්ටතම සුඛෝපභෝගී ආහාර ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පිදුම් ලබයි

එක්සත් රාජධානියේ පැවැති කීර්තිමත් ‘ට්‍රැවල් ඇන්ඩ් ටේස්ට් සම්මාන 2026’ (Travel & Taste Awards 2026) උළෙලේදී “වසරේ විශිෂ්ටතම සුඛෝපභෝගී ආහාර සංචාරක ගමනාන්තය” (Luxury Food Destination of the Year) ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
ලන්ඩන් නුවර පැවැත්වෙන ලෝක සංචාරක වෙළෙඳපොළ (World Travel Market – WTM) ප්‍රදර්ශන පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කුටියේදී, එම සම්මාන උළෙලේ ප්‍රධාන සංවිධායක ඇලෙක්ස් ක්‍රොස්ලි (Alex Crosley) මෙනෙවිය විසින් අදාළ සම්මානය ශ්‍රී ලංකා නියෝජිතයින් වෙත නිල වශයෙන් ප්රදානය කරන ලදී.
ලොව පුරා ආහාර කේන්ද්‍ර කරගත් විශිෂ්ටතම සංචාරක අත්දැකීම් කාණ්ඩ 17ක් යටතේ ඇගයීමට ලක්කෙරෙන මෙම සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් තෝරාගනු ලැබුවේ, මධ්‍යසාර විශේෂඥ මිලී මිලික්න්-හෝල්ඩ්ෂැම්, ජනප්‍රිය ආහාර සංචාරක අන්තර්ගත නිර්මාණකාරිනී වර්නා ගාඕ මෙන්ම ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ ප්‍රවීණයන් වන ජිනා ජැක්සන් සහ මිලී කෙනී-රයිඩර් ඇතුළු ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලයක් විසිනි.
ජයග්‍රහණයට හේතු වූ කරුණු
ශ්‍රී ලංකාව මෙම කීර්තිමත් සම්මානයෙන් පිදුම් ලැබීමට ප්‍රධාන කරුණු කිහිපයක් බලපෑ බව විනිශ්චය මණ්ඩලය පෙන්වා දී තිබේ:
සාම්ප්‍රදායික සුඛෝපභෝගී සංකල්පය අලුත් කළ මෙරට බුටික් හෝටල් (Boutique Hotels) ජාලය
විචිත්‍රවත් හා විවිධාංගීකරණය වූ දේශීය ආහාර සංස්කෘතිය
ශ්‍රී ලංකාවටම ආවේණික වූ ස්වභාවික අමුද්‍රව්‍ය සහ කුළුබඩු ලෝකයට ඉදිරිපත් කළ විශිෂ්ට ආකාරය
මෙම ජාත්‍යන්තර ඇගයීම හරහා සුඛෝපභෝගී ආහාර සහ සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකය හමුවේ ශ්‍රී ලංකාව සතු සුවිශේෂී පිළිගැනීම තවදුරටත් තහවුරු වන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
විශේෂයෙන්ම මෙරට සතු ආහාරමය විවිධත්වය සහ උසස් තත්ත්වයේ භෝජන අත්දැකීම් ජාත්‍යන්තර සංචාරකයින් අතරට ගෙන යමින්, අත්දැකීම් කේන්ද්‍ර කරගත් ඉහළ පෙළේ ධනවත් සංචාරකයින් මෙරටට ආකර්ෂණය කරගැනීමට මෙම සම්මානය ප්‍රබල පිටුවහලක් වනු ඇතැයි සංචාරක බලධාරීහු වැඩිදුරටත් අපේක්ෂා කරති.




