යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ෆොරස්ට්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව නොවැම්බර් 3දා පූර්ව නඩු විභාගයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මහාත්තා වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව පවරා ඇති මුදල් විශුද්ධිකරණ නඩුව නොවැම්බර් 3 වැනිදා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයක් සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය  නියෝග කළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති මෙම නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

දෙවැනි විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ මහත්මිය අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඇය අධිකරණයට නොපැමිණීම සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේය.

අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 3 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ රුපියල් මිලියන 57කට ආසන්න මුදලක් සම්බන්ධයෙන් චෝදනා කරමිනි.

නීතිපතිවරයාගේ චෝදනාව වී ඇත්තේ නීතිවිරෝධී ලෙස උපයා ගත් බවට චෝදනා කෙරෙන එම මුදල බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම තුළින් විත්තිකරුවන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *