ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම් කණ්ඩායම මහ බැංකු සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් බැංකු තැන්පත්කරුවන්ගෙන් මුදල් වංචා කරන සංකීර්ණ ජාවාරමක් සම්බන්ධයෙන් මහජනතාවට අනතුරු අඟවා තිබේ.
එම කණ්ඩායම වෙත ලැබී ඇති පැමිණිලි අනුව, වංචාකරුවන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ නිල ලිපි ශීර්ෂ, අත්සන් සහ රබර් මුද්‍රා භාවිත කර තමන් සැබෑ නිලධාරීන් බවට වින්දිතයන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කරති.
වංචාකරුවන් මුලින් ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ ඉතිරිකිරීමේ සහ ස්ථාවර තැන්පතු ගිණුම්වල ඇති මුදල් පිළිබඳ විමසන බව සඳහන් වේ.
වින්දිතයන්ගේ තැන්පතු පිළිබඳ තොරතුරු තමන් සතුව ඇති බව පවසන වංචාකරුවන්, එම මුදල් වංචනික ක්‍රමවලින් උපයාගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇති බව පවසමින් ඔවුන් බියගන්වති. පසුව මූල්‍ය අපරාධ විමර්ශනයක් සිදුකිරීමට නියමිත බවට තර්ජනය කරන බවද සඳහන් වේ.
ඉන් අනතුරුව මහ බැංකුවේ ව්‍යාජ ලිපි ශීර්ෂ, නිලධාරීන්ගේ ව්‍යාජ අත්සන් සහ රබර් මුද්‍රා සහිත ලිපි වින්දිතයන් වෙත යවා, ඔවුන්ගේ මුදල් වෙනත් පෞද්ගලික බැංකුවක නිශ්චිත ගිණුමකට මාරු කරන ලෙස උපදෙස් ලබාදෙති.
එම ගිණුම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙකුට අයත් බව පවසමින් මුලින් තැන්පතුවලින් අඩක් මාරු කරන ලෙස වංචාකරුවන් උපදෙස් දෙන බවත්, මුදල් මාරු කිරීමෙන් පසු බැංකු තැන්පතු පත්‍රය සාක්ෂියක් ලෙස ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින බව සඳහන් වේ.
මෙම වංචාව සිදුකරන පුද්ගලයන් පොලිස් නිල ඇඳුම්, බැංකු හැඳුනුම්පත් සහ රබර් මුද්‍රා පවා භාවිත කරන බවට තොරතුරු ලැබී ඇති අතර, වංචාව ඉතා සූක්ෂ්ම හා සැලසුම් සහගත ආකාරයෙන් සිදුකරන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම් කණ්ඩායම පෙන්වා දෙයි.
විශේෂයෙන් විශ්‍රාමිකයන් සහ වැඩිහිටි පුද්ගලයන් මෙම වංචාවට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස එම කණ්ඩායම මහජනතාවගෙන් ඉල්ලා සිටී.
වැඩිහිටි පවුලේ සාමාජිකයන් මේ පිළිබඳව දැනුවත් කරන ලෙසත්, බැංකු තොරතුරු ලබාදෙන ලෙස හෝ මුදල් මාරු කරන ලෙස ඉල්ලා ලැබෙන සැකසහිත දුරකථන ඇමතුම්, පණිවිඩ හෝ ලිපිවලට ප්‍රතිචාර නොදක්වන ලෙසත් එම කණ්ඩායම උපදෙස් ලබාදී තිබේ.


