“දෙගුණයක් ගෙවාගෙන මගීන්ට හිටගෙන යන්න වෙලා” මෙට්‍රෝ බස් සේවාව ගැන ජගත් විතානගෙන් විවේචන

මෙට්‍රෝ බස් රථවල ගමන් කරන මගීන්ට හිටගෙන ගමන් කිරීමට සිදුව තිබියදී සාමාන්‍ය ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවීමට සිදුවීම අසාධාරණ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා ප්‍රකාශ කළේය.

“මෙට්‍රෝ බස්වල මගීන්ට හිටගෙන යන්න වෙලා. ඒ වගේම ටිකට්පතේ මිලත් දෙගුණයක්. ඒක අසාධාරණයක් නෙවෙයිද? බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පවා හිටගෙන ගමන් කරන්න සිදුවෙලා” යැයි ඔහු සඳහන් කළේය.

මෙට්‍රෝ බස් රථ ක්‍රියාකරුවන්ට මේ ආකාරයෙන් අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට ඉඩ නොදිය යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.

“දැනට අපට මගීන් 48 දෙනෙකු රැගෙන යා හැකියි. නමුත් ඔවුන්ගේ තීරණ අනුව මගීන් 80ක් පමණ හිටගෙන ගමන් කරනවා. අද කොතරම් අසාධාරණයක් සිදුවෙනවාද? හිටගෙන යන පුද්ගලයාත් දෙගුණයක ගාස්තුවක් ගෙවනවා. අසුන්ගෙන යන පුද්ගලයාත් ගෙවන්නේ ඒ මුදලමයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන්ධන පරිභෝජනය පිළිබඳව අදහස් දක්වමින් ජගත් විතාන මහතා සඳහන් කළේ කිලෝමීටරයක් ගමන් කිරීම සඳහා ඩීසල් ලීටර් දෙකක් පමණ වැය වන බවයි.

“අපි විදුලි බස් රථ ගෙනාවේ නැති නිසා තමයි මෙහෙම වෙන්නේ. විදුලියෙන් සහ ඩීසල්වලින් ක්‍රියාත්මක වන, වැඩි බලයක් සහිත මෙන්ම අඩු පරිසර දූෂණයක් ඇති කරන හයිබ්‍රිඩ් බස් රථ ගෙනාවා නම් මීට වඩා සාර්ථක වෙන්න තිබුණා. මේ සම්බන්ධයෙන් මහජනතාවගෙන් අදහස් විමසුවා නම් වඩාත් හොඳයි” යැයි ඔහු පැවසීය.

මගීන්ට පහසුකම් සැලසීම හොඳ දෙයක් වුවද, ආගමික පූජකවරුන් ඇතුළු පිරිස් නොසලකා හැරීම සුදුසු නොවන බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

“පහසුකම් ලබාදීම හොඳයි. නමුත් ඒවා ලබාදෙන විට පූජක පක්ෂය අමතක නොකළ යුතුයි. ඔවුන්ටත් දැන් දැඩි අපහසුතාවලට මුහුණ දෙමින් ගමන් කරන්න සිදුවෙලා. ඊයේ අපේ ඉතාම ජ්‍යෙෂ්ඨ සංඝ පීතෘවරයෙක් මට ලිපියක් දුන්නා. එහි සඳහන් කර තිබුණේ භික්ෂූන් වහන්සේලාටත් හිටගෙන ගමන් කිරීමට සිදුව ඇති බවයි” යනුවෙන් ඔහු සඳහන් කළේය.

මෙරට පූජක පක්ෂය පිළිබඳව කතා කිරීමේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා පමණක් නොව කතෝලික පූජකවරුන්, මුස්ලිම් මවුලවිවරුන් ඇතුළු සියලු ආගමික පූජකවරුන් සැලකිල්ලට ගත යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

නව බස් රථ මිලදී ගැනීම ආර්ථික වශයෙන් වාසිදායකද යන්න පිළිබඳවද ජගත් විතාන මහතා ප්‍රශ්න කළේය. කාලයත් සමඟ බස් රථවල වටිනාකම ක්ෂය වන අතර, අමතර ටයර් සහ ටියුබ් මාරු කිරීම ඇතුළු නඩත්තු වියදම් ද දැරීමට සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *