ඒ අනුව, එම හෙල්ල පදනමේ ක්‍රීඩා කෞතුකාගාරයේ ක්‍රීඩා සිහිවටන ලෙස සංරක්ෂණය කර ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයට පැමිණ ඇති රුමේෂ් තරංග, 2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනාගැනීමට ද සමත් විය. ඔහු මෙම පරිත්‍යාගය සිදුකර ඇත්තේ පදනමේ ප්‍රධාන මධ්‍යස්ථානය වෙත කළ සංචාරයක් අතරතුරදීය. එහිදී ඔහු පදනමේ යහපත්කමේ තානාපතිවරයකු (Goodness Ambassador) ලෙස පත්වීම ද භාරගෙන තිබේ.
කුෂිල් ගුණසේකර මහතා විසින් ආරම්භ කර මෙහෙයවනු ලබන Foundation of Goodness පදනම, අධ්‍යාපනය, ක්‍රීඩා සංවර්ධනය සහ වෙනත් වැඩසටහන් ඔස්සේ අඩු වරප්‍රසාද සහිත ප්‍රජාවන් සවිබල ගැන්වීමේ කටයුතුවල නිරත වේ.
රුමේෂ් තරංගගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂී මතක සටහනක් ලෙස මෙම හානි වූ හෙල්ල කෞතුකාගාරයේ සංරක්ෂණය කෙරෙන අතර, ඒවා අනාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද ආශ්වාදයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2026 ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී මීටර් 88.33ක දුරක් හෙල්ල විසි කරමින් රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය. පොදුරාජ්‍ය මණ්ඩලීය මට්ටමේ තරගාවලිවලදී ද ඔහු සාර්ථකත්වය අත්කරගෙන තිබේ.
යහපත්කමේ තානාපතිවරයකු ලෙස සිය නව භූමිකාව තුළ රුමේෂ් තරංග ග්‍රාමීය ප්‍රදේශවල දක්ෂ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීම, ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කිරීම සහ මඟපෙන්වීම සඳහා වන වැඩසටහන්වලට සහාය දීමට නියමිතය.
ජාත්‍යන්තර තරගාවලිවලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවශ්‍ය කුසලතා සහ ආත්මවිශ්වාසය ගොඩනඟා ගනිමින්, රුමේෂ් තරංගගේ අඩිපාරේ යාමට ග්‍රාමීය තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව සැලසීම මෙම වැඩසටහනේ අරමුණයි.



