ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත බන්ධනාගාර ආඥාපනත යටතේ පනවා ඇති නීති, රෙගුලාසි සහ ස්ථාවර නියෝග යාවත්කාලීන කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබේ.
ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර පැවති විශේෂ සාකච්ඡාවකදී ගත් තීරණයකට අනුව මෙම කමිටුව පත් කර ඇත.
සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ.සී. ගජනායක යන මහත්වරු ඇතුළත් වෙති.
බන්ධනාගාර ආඥාපනත යටතේ දැනට ක්‍රියාත්මක වන නීති, රෙගුලාසි සහ ස්ථාවර නියෝග කාලීන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි වරින් වර සමාලෝචනය කර යාවත්කාලීන කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.
ඒ අනුව, වර්තමාන ආගමික, සංස්කෘතික, නීතිමය, පරිපාලනමය සහ ප්‍රායෝගික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් සිදු කළ යුතු සංශෝධන හඳුනාගැනීම කමිටුවට පැවරී තිබේ.
බන්ධනාගාර පද්ධතියේ කාර්යක්ෂමතාව, යහපාලනය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීමත්, සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමත් අරමුණු කරගෙන අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ද කමිටුවට උපදෙස් දී ඇත.


