ඉන්දියාවේ ස්ටාර්ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව වාණිජ මට්ටමින් ආරම්භ කිරීම සඳහා අවසන් අනුමැතිය ලබාගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ටෙස්ලා සහ ස්පේස්එක්ස් ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් සහ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි අතර සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් හුවමාරුවක් සිදුව තිබේ.
මෙම සංවාදය ආරම්භ වූයේ අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව මස්ක් සිය කනස්සල්ල පළ කරමින්, ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි ඉන්දියාවේ “සැබෑ ලොක්කා” දැයි ප්‍රශ්න කිරීමත් සමඟය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය කොංග්රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි මෙසේ සඳහන් කළේය.
“ඉන්දියාවට සාදරයෙන් පිළිගන්නවා, එලොන්. අනිත් පුද්ගලයා ගැන දැනගන්නකම් ඉන්න.”
ඊට පිළිතුරු දෙමින් එලොන් මස්ක් ප්‍රකාශ කළේ,
“ස්තූතියි, රාහුල්. මේ තත්ත්වය ඇත්තෙන්ම කනස්සල්ලට කරුණක්.”
මෙම අදහස් හුවමාරුවත් සමඟ ඉන්දියාවේ විදුලි සංදේශ ක්ෂේත්රය තුළ ප්‍රධාන ව්‍යාපාරික සමූහයන්ගේ බලපෑම සහ එරට වෙළෙඳපොළට පිවිසීමට අපේක්ෂා කරන විදේශීය සමාගම් මුහුණ දෙන නියාමන අභියෝග පිළිබඳව අවධානය යොමුව තිබේ.
කෙසේ වෙතත්, ප්‍රබල ව්‍යාපාරික අවශ්‍යතා හේතුවෙන් ස්ටාර්ලින්ක් සමාගමට ඉන්දීය වෙළෙඳපොළට පිවිසීමට බාධා එල්ල වන බවට නැඟෙන චෝදනා ඉන්දීය රජය ප්‍රතික්ෂේප කර ඇත. චන්ද්‍රිකා අන්තර්ජාල සේවා සපයන සමාගම් වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර අනිවාර්ය ආරක්ෂක ඇගයීම් සම්පූර්ණ කළ යුතු බව රජය අවධාරණය කරයි.
එලොන් මස්ක්ගේ ස්පේස්එක්ස් සමාගම යටතේ ක්‍රියාත්මක වන ස්ටාර්ලින්ක්, චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සපයන සේවාවකි. ලොව විශාලතම විදුලි සංදේශ වෙළෙඳපොළක් හිමි ඉන්දියාවේ සිය මෙහෙයුම් ව්‍යාප්ත කිරීම සඳහා එම සමාගම උත්සාහ කරමින් සිටියි.
ඉන්දීය සන්නිවේදන අමාත්‍යාංශයට අනුව, ස්ටාර්ලින්ක් සමාගමට අමතරව රිලයන්ස් ජියෝහි චන්ද්‍රිකා සන්නිවේදන ව්‍යාපෘතිය සහ යුටෙල්සැට් වන්වෙබ් (Eutelsat OneWeb) සමාගම ද බලපත්‍ර ලබාගෙන තිබේ.
කෙසේ වෙතත්, එම සමාගම් තුනටම වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර තවදුරටත් ආරක්ෂක ඇගයීම් සහ ගුවන්විදුලි සංඛ්‍යාත භාවිතයට අදාළ අනුමැතීන් ලබාගැනීමට සිදුව ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.
එම සමාගම්වලට වෙනස් ආකාරයෙන් සැලකීමක් සිදුකරන බවට එල්ල වන චෝදනා ද රජය ප්‍රතික්ෂේප කර ඇති අතර, සමාගම් තුනටම එකම නියාමන අවශ්‍යතා අදාළ වන බව අවධාරණය කර තිබේ.


