මෙම වැඩපිළිවෙළ යටතේ බස් රථ සඳහා උසස් රියදුරු සහායක පද්ධති (ADAS) සහ රියදුරන් නිරීක්ෂණය කිරීමේ කැමරා පද්ධති හඳුන්වා දීමට නියමිතය. එමඟින් වඩාත් ආරක්ෂිත රිය පැදවීමේ ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීමටත්, බස් රථ මෙහෙයුම් වඩාත් ඵලදායී ලෙස නිරීක්ෂණය කිරීමට බලධාරීන්ට අවස්ථාව සැලසීමටත් අපේක්ෂා කෙරේ.
මෙම වැඩපිළිවෙළේ ප්‍රගතිය සොයා බැලීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා නාරාහේන්පිට පිහිටි ජාතික ගමනාගමන කොමිෂන් සභා (NTC) මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ. එහිදී අලුතින් ස්ථාපිත කළ බස් රථ මෙහෙයුම් නිරීක්ෂණ මධ්‍යස්ථානය ද අමාත්‍යවරයාගේ පරීක්ෂාවට ලක්විය.
එම සංචාරය අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සීමිත මානව සම්පත් යොදා ගනිමින් විශාල බස් රථ සංඛ්‍යාවක මෙහෙයුම් කළමනාකරණය කිරීමේ අභියෝගයට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය විසඳුමක් විය හැකි බවයි.
“බස් රථ 100ක් තිබෙන සමාගමක් නිසි ලෙස කළමනාකරණය කිරීමට නිලධාරීන් 25 දෙනකු පත් කළත් එය අපහසු කාර්යයක්. නමුත් මෙම ක්‍රමය හරහා පුද්ගලයන් දෙදෙනකු හෝ තිදෙනකු යොදාගෙන වුවද එය කළමනාකරණය කිරීමේ හැකියාව අපට තිබෙනවා. මෙම පද්ධතියේ පවතින අඩුපාඩු කෘත්‍රිම බුද්ධිය මඟින් කළමනාකරණය කරනවා. මෙය කිසියම් මැජික් එකක් නොවෙයි. ශ්‍රී ලංකාවට අඩුවෙන් තිබෙන, දැන් හඳුන්වා දෙමින් පවතින පොදු ප්‍රවාහන පද්ධතියක්,” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.
මෙම ඩිජිටල් නිරීක්ෂණ අංශය මඟින් බස් රථ නියමිත කාලසටහන් අනුව ධාවනය වන්නේද යන්න සොයා බැලීමටත්, රියදුරන්ගේ සහ බස් රථ මෙහෙයුම්කරුවන්ගේ කාර්යසාධනය ඇගයීමටත්, අදාළ නීති හා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන්නේද යන්න නිරීක්ෂණය කිරීමටත් බලධාරීන්ට හැකි වන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
මේ අතර, ගාල්ල, නුවරඑළිය සහ ගම්පහ ඇතුළු නව නාගරික මධ්‍යස්ථාන වෙත මෙට්‍රෝ බස් රථ ජාලය ව්‍යාප්ත කිරීමට රජය සැලසුම් කර තිබේ. ඊට අමතරව තවත් බස් රථ 50ක් සේවයට එක් කිරීමට ද සැලසුම් කර ඇත.
කෙසේ වෙතත්, පොදු ප්‍රවාහන සේවය නවීකරණය කිරීම මෙට්‍රෝ බස් රථ ජාලයට පමණක් සීමා නොවිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙරට දෛනික ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා පෞද්ගලික බස් රථ 15,000ක් පමණ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අයත් බස් රථ 5,000ක් පමණ තවදුරටත් භාවිත කෙරේ.


