2022 මැයි මස 9 වන දින සහ ඒ ආසන්න දිනවලදී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දේපළවලට සිදු වූ හානි වෙනුවෙන් වන්දි ලබාදීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
මෙම නඩුව අද දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, හිටපු ජනාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් කිහිපදෙනෙකුට මෙතෙක් අදාළ නොතීසි ලැබී නොමැති බව අධිකරණයට දැනුම් දෙන ලදී.
ඒ අනුව, අදාළ පාර්ශවයන් වෙත වහාම නොතීසි නිකුත් කිරීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මැයි මස 8 වනදා දින නියම කරනු ලැබීය.
අදාළ සිදුවීම්වලට අදාළව ගෙවන ලද ඕනෑම වන්දි මුදලක් දේශපාලන සම්බන්ධතා, පක්ෂග්‍රාහීත්වය හෝ වෙනත් අනිසි බලපෑම්වලින් තොරව සාධාරණව බෙදා හැර ඇති බව තහවුරු කර ගැනීම සඳහා විනිවිදභාවයකින් යුත් පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පෙත්සම්කරු මෙහිදී අවධාරණය කර සිටී.
අදාළ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූ වැරදිකරුවන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය නිසි පියවර නොගෙන, මෙලෙස විශාල මහජන මුදලක් වන්දි වශයෙන් වැය කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්වන බවද පෙත්සම්කරු පෙන්වා දෙයි.
2025 පෙබරවාරි 05 වන දින හෝ ඒ ආසන්න දිනකදී සෞඛ්‍ය අමාත්‍ය සහ එවකට රජයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබුණේ, 2022 මැයි 09 දින සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් දේපළ හානි වූ දේශපාලනඥයන් ඇතුළු පුද්ගලයන් 43 දෙනෙකු සඳහා රුපියල් බිලියන 1.22 ක වන්දි මුදලක් ගෙවා ඇති බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය බලය අවභාවිත කරමින් සාමාන්‍ය වන්දි සීමාවන් ඉක්මවා යමින් මෙලෙස අතිවිශාල වන්දි මුදල් ලබාගෙන ඇති බවට වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එල්ල කළ චෝදනාව ද පෙත්සම්කරු සිය පෙත්සම මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.


