උතුරේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික තිලීපන්ගේ සැමරුම් උත්සවයකට පාසල් සිසුන් සහභාගි කරවීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මඩුගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තුවේදී මෙම කරුණ මතු කරමින් මන්ත්‍රීවරයා පැවසුවේ පාසල් නිල ඇඳුමින් සැරසී පාසල් වේලාව තුළ සිසුන් මෙම සැමරුම් අවස්ථාවට සහභාගි වී ඇති බවයි.
“යම් වරදක් සිදුවී ඇත්නම් අදාළ පාසලේ විදුහල්පතිවරයා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් දැනගැනීමට අපි කැමතියි,” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසීය.
එමෙන්ම, උතුරේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරීම සඳහා ස්මාරක ඉදිකරන්නේ කුමන හේතුවක් මතදැයිද මඩුගොඩ මහතා ප්‍රශ්න කළේය.
හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වූ බාලරාජ් වීරයෙකු ලෙස හඳුන්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් සිදුකළ ප්‍රකාශයක් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් නොකළේ මන්දැයිද ඔහු ප්‍රශ්න කළේය.
ජාතිවාදයට ඉඩ නොදිය යුතු බවද මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.
මේ අතර, සෞදි අරාබියේදී මරණ දඬුවමකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන් මහතාට සමාව ලබාගැනීම සඳහා රජය සහ විපක්ෂය එක්ව හැකි සෑම පියවරක්ම ගත යුතු බවද මඩුගොඩ මහතා ඉල්ලා සිටියේය.
“අනෝජන් බේරා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් එකට එකතු විය යුතුයි,” යනුවෙන් ඔහු පැවසීය.


