චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයෙන් ශ්‍රී ලංකා විපක්ෂ නියෝජිත පිරිසක් චීනයේ සංචාරයක

චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කළ වැඩසටහනකට ශ්‍රී ලංකාවේ විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජනය කරන පිරිසක් සහභාගී වී තිබේ. එම අවස්ථාවට CPC උප අමාත්‍ය සුන් හයියාන් මහත්මියද සහභාගී වී ඇත.

මෙම නියෝජිත පිරිසට ශ්‍රී ලංකාවේ විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන පිරිස් ඇතුළත් වී තිබේ. සමගි ජන බලවේගය නියෝජනය කරමින් මහාචාර්ය ප්‍රසන්න, හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයෙකු වන සුරේන්ද්‍ර රාඝවන්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුර ගල්පත්ති සහ බී. ආරියවංශ, එක්සත් ජාතික පක්ෂ නියෝජිත කවින්දු දෙහිවල, තරුණ නායකයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් පිරිසක් ඊට එක්ව සිටිති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික මධුෂාන් හරින්ද්‍ර සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වැදගත් ජාත්‍යන්තර වේදිකාවකට සහභාගී වීමට ලැබීමත්, ශ්‍රී ලංකාවේ විවිධ දේශපාලන පසුබිම් නියෝජනය කරන නියෝජිතයන් සමඟ මෙම අත්දැකීම බෙදා ගැනීමට හැකිවීමත් මතකයේ රැඳෙන අවස්ථාවක් බවයි.

මෙම වැඩසටහන පැවැත්වී ඇත්තේ CPC හි අග්නිදිග සහ දකුණු ආසියානු කටයුතු කාර්යාංශය විසින් නිකුත් කළ නිල ආරාධනයකට අනුවය. එම ආරාධනයේදී ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂවල පොදු වගකීමක් ලෙස චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජිතයන්ගෙන් සමන්විත බහුපාර්ශ්වික නියෝජිත පිරිසකට සැප්තැම්බර් 6 සිට 15 දක්වා ෂැංහයි, ෂාන්ෂී සහ ෆුජියන් ප්‍රදේශවල සංචාරයක නිරත වන ලෙස CPC විසින් ආරාධනා කර තිබේ.

ආරාධනයට අනුව, දේශපාලන පක්ෂ ගොඩනැගීම, සමාජ පාලනය සහ ග්‍රාමීය පුනර්ජීවනය සම්බන්ධ අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණු අතර වේ.

මීට අමතරව කෘත්‍රිම බුද්ධිය (AI), උසස් නිෂ්පාදන තාක්ෂණය සහ නවීන කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්‍රවල චීනය ලබා ඇති නවතම ප්‍රගතිය නියෝජිත පිරිස වෙත හඳුන්වා දීමද මෙම වැඩසටහනේ අරමුණක් බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *