“අනෝජන්ට ජීවිත දානයක් දෙන්න” ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන 5කින් සෞදි නායකත්වයෙන් ඉල්ලීමක්

ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන සිවරාසා අනෝජන්ට සමාව ලබාදී ඔහුගේ ජීවිතය ආරක්ෂා කරන ලෙස ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන පහක් එක්ව සෞදි අරාබි නායකත්වයෙන් මානුෂීය ඉල්ලීමක් කර තිබේ.

සැප්තැම්බර් 22 දින නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් මෙම සංවිධාන දෙපාර්ශ්වයේ නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට යන අතරතුර දයාව සහ කරුණාව පෙන්වා අනෝජන්ට සමාව ලබාදෙන ලෙස ශුද්ධ වූ පල්ලි දෙකේ භාරකරු සහ සෞදි අරාබි නායකත්වයෙන් ඉල්ලා ඇත.

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියට තමන් සම්පූර්ණයෙන්ම ගරු කරන බව සඳහන් කරන එම සංවිධාන, මෙම සිද්ධියට ගැඹුරු මානුෂීය පැතිකඩක්ද ඇති බව පෙන්වා දී තිබේ.

“ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් වන සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව නියෝජනය කරන මාධ්‍ය සංවිධාන ලෙස, සියලු ආගම්වලට ගරු කිරීම, ආගමික සහජීවනය, වගකීම් සහගත ප්‍රකාශනය සහ සාමකාමී සහජීවනය සඳහා අපගේ පොදු කැපවීම තහවුරු කරමු,” යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වේ.

ඉස්ලාම් ආගම තුළ දයාව, සමාව, පසුතැවීම සහ කරුණාවට හිමි වැදගත්කමද එම මාධ්‍ය සංවිධාන පිළිගෙන තිබේ.

අනෝජන් සම්බන්ධයෙන් මානුෂීය විසඳුමක් ලබා ගැනීම සඳහා පවතින සියලුම නීතිමය සහ මානුෂීය මාර්ග භාවිත කරමින් ශ්‍රී ලංකා රජය ඉහළම මට්ටමින් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් තවදුරටත් සිදුකරන ලෙසද ඔවුන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය අනෝජන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් සමීප අවධානයක් යොමු කරමින් සිටින බවත්, රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ සෞදි බලධාරීන් සමඟ සම්බන්ධ වෙමින් සිටින බවත් තහවුරු කර ඇති බවද ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

අනෝජන්ට සමාව ලබාදීම ශ්‍රී ලංකාවේ ජනතාව විසින් මහත් අගයකින් පිළිගනු ඇති බවත්, එය දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමටද හේතුවනු ඇති බවත් එම සංවිධාන පවසයි.

“ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේ ජීවිතය තීරණාත්මක අවස්ථාවක පවතින මෙවැනි මොහොතක, ජීවිතය ආරක්ෂා කර ඔහුට සිය පවුල වෙත ආරක්ෂිතව නැවත පැමිණීමට අවස්ථාව සලසාදීම සඳහා හැකි සෑම උත්සාහයක්ම දැරිය යුතු බව අපි විශ්වාස කරමු,” යනුවෙන් එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම ඒකාබද්ධ ඉල්ලීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, දකුණු ආසියානු කාන්තා මාධ්‍ය සංවිධානය, ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය, දෙමළ මාධ්‍ය සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය විසින් නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *