දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 11ක් ගැටුණු අනතුරට අධික වේගය සහ රියදුරුගේ නොසැලකිල්ල හේතුවක්

ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ කැබ් රථයක රියදුරුගේ අධික වේගය සහ දැඩි නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 11ක් සම්බන්ධ වූ අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුර  ගැලනිගම සහ දොඩංගොඩ අතරදී සිදුව තිබේ.

ගාල්ලේ සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථය හදිසියේ තිරිංග යෙදීමෙන් පසු අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටක ගැටී ඇති අතර, අනතුරුව පාසල් සිසුන් රැගත් බස් රථයක ගැටී තිබේ.

එම ගැටීමත් සමඟ අකුරැස්ස සිට කොළඹ බලා ධාවනය වූ මගී බස් රථයක් ඇතුළු තවත් වාහන අටක් ද එකිනෙක ගැටීමෙන් අනතුරු මාලාවක් සිදුව තිබේ.

මීට පෙර වාර්තා වූ පරිදි, අනතුරින් පාසල් සිසුන් අටදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිසිය සඳහන් කළේ පාසල් සිසුන් ආසන පටි පැළඳ සිටීම හේතුවෙන් ඔවුන්ට සිදුව ඇත්තේ සුළු තුවාල පමණක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *