පන්නලදී පලායමින් සිටි මෝටර් රථයක ටයර්වලට වෙඩි තබා සැකකරුවෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

පන්නල ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා පලායමින් සිටි මෝටර් රථයක ටයර්වලට පොලිසිය වෙඩි තබා නවතා, මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සැකපිට පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය ඊයේ (22) සිදුව ඇති අතර, මෙහෙයුමේදී හෙරොයින් සහ මුදල් තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් අදාළ මෝටර් රථය පසුපස හඹාගොස් ඇති බවයි.

පොලිස් නිලධාරීන් මෝටර් රථය නවත්වන ලෙස අණ කළද රියැදුරු එම අණ නොතකා රථය ධාවනය කර ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව පොලිස් නිලධාරීන් මෝටර් රථයේ ටයර්වලට වෙඩි තබා ඇති අතර, පන්නල නගරය ආසන්නයේදී රථය නවත්වා ගැනීමට හැකිව තිබේ.

එහිදී මෝටර් රථයේ සිටි සැකකරු සහ පසුපස අසුනේ සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහෙයුම අතරතුර නිලධාරීන් මෝටර් රථය වටකරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ආකාරයත්, මෝටර් රථයේ වීදුරුවක් කඩා දමන ආකාරයත් දැක්වෙන වීඩියෝ දර්ශනද මේ වන විට නිකුත් වී තිබේ.

පොලිසිය පැවසුවේ මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 15.260ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 924,770ක මුදලක්ද සොයාගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *