පාසල් පන්ති කාමර නවීකරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන අධ්‍යාපන ව්‍යාපෘති කිහිපයක් යටතේ දිවයින පුරා පාසල් වෙත ස්මාර්ට් බෝඩ් 4,570ක් බෙදාහැරීමට රජය පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසුවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය පාසල් පන්ති කාමර සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීම අරමුණු කරගත් ව්‍යාපෘති තුනක ප්‍රගතිය පිළිබඳව කරුණු පැහැදිලි කළාය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් 2024 වසරේදී ලබාදුන් ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් මගින් ස්මාර්ට් බෝඩ් 1,000ක් පාසල් 1,000කට මේ වනවිටත් බෙදාහැර තිබේ.
චීන රජයේ සහාය යටතේ 2025 සහ 2026 වසර සඳහා ආනයනය කළ ස්මාර්ට් බෝඩ් 900කින් 500ක් මේ වනවිට පාසල් වෙත බෙදාහැර ඇති අතර, ඒවා සවිකිරීමේ කටයුතු චීන රජය විසින් පත් කරන ලද ව්‍යාපෘති කළමනාකරණ කමිටුවක් මගින් සිදු කරමින් පවතී.
මේ අතර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මගින් ප්‍රතිපාදන සපයන ලද ව්‍යාපෘතියක් යටතේ පළාත් මට්ටමින් මිලදී ගත් ස්මාර්ට් බෝඩ් 2,670ම පාසල් වෙත බෙදාහැර අවසන් කර ඇති අතර, ඒවා සවිකිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතී.
එම ස්මාර්ට් බෝඩ් 2,670 පළාත් අනුව බෙදාහැර ඇත්තේ මෙසේය.
| පළාත | ස්මාර්ට් බෝඩ් ගණන |
|---|---|
| වයඹ | 524 |
| බස්නාහිර | 481 |
| නැගෙනහිර | 371 |
| ඌව | 363 |
| දකුණ | 311 |
| උතුරු මැද | 200 |
| මධ්‍යම | 170 |
| සබරගමුව | 150 |
| උතුර | 100 |
මෙම ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණ පාසල් පන්ති කාමර ඩිජිටල්කරණය කිරීම සහ සිසුන්ට නවීන තාක්ෂණය වෙත වැඩි ප්‍රවේශයක් ලබාදීම බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළාය.


