ශ්‍රී ලංකා-කටාර් ඒකාබද්ධ කම්කරු කමිටුවේ සාකච්ඡා: ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියා සහ සුබසාධනය ගැන අවධානය

ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර ඒකාබද්ධ කම්කරු කමිටුවේ නවතම රැස්වීම දෝහාහිදී පැවැත්වුණු අතර, දෙරට අතර කම්කරු ක්ෂේත්‍රයේ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කර තිබේ.

විශේෂයෙන් ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම, සාධාරණ හා විනිවිදභාවයෙන් යුත් බඳවා ගැනීම් තහවුරු කිරීම සහ කටාර්හි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධනය හා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු වී ඇත.

කටාර් කම්කරු අමාත්‍යාංශයේ උප ලේකම් ෂෙයිකා නජ්වා බින්ත් අබ්දුල්රහ්මාන් අල් තානි සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්ගේ සම සභාපතිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

පුහුණුව ලැබූ සහ වෘත්තීය සුදුසුකම් සහිත ශ්‍රී ලාංකිකයන් සඳහා කටාර්හි තවදුරටත් රැකියා අවස්ථා ඇති කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කර තිබේ.

එමෙන්ම දෙරට අතර වෘත්තීය සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා ක්‍රමවේදයක් ඇති කිරීම සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇත.

කටාර්හි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳවද දෙපාර්ශ්වය සමාලෝචනය කර තිබේ.

ඒකාබද්ධ කම්කරු කමිටුව හරහා ඉදිරියටත් ඵලදායී ක්‍රියාවලියක් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශ්වයම අවධාරණය කර ඇත.

කටාර්හි ශ්‍රී ලංකා තානාපති සිතාරා ඛාන්, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුගත් යාලේගම සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එම්.එස්.ඩී. ගුණසිංහ යන මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසක්ද සාකච්ඡාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50ක් සපිරෙන අවස්ථාවක පැවති මෙම සාකච්ඡා හරහා දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය ප්‍රායෝගික ප්‍රතිඵල බවට පත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.

ඒ යටතේ ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා ලබාදීම, වෘත්තීය කුසලතා වැඩිදියුණු කිරීම, සාධාරණ හා විනිවිදභාවයෙන් යුත් බඳවා ගැනීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීම සහ ශ්‍රමික අයිතිවාසිකම් සඳහා වැඩි ආරක්ෂාවක් ලබාදීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *