ශ්‍රී ලංකාවේ ආපදා සූදානම සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමේ අරමුණින් ජපාන රජයේ ප්‍රදාන ආධාර යටතේ ක්‍රියාත්මක වන ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාලයේ පුත්තලම ඉදිකිරීම් භූමිය ජපාන තානාපති ඉසොමාටා මහතා නිරීක්ෂණය කර තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ජපාන යෙන් බිලියන 2.66ක පමණ මුදලක්, එනම් ශ්‍රී ලංකා රුපියල් බිලියන 3.04කට ආසන්න මුදලක් වැය වන අතර, එය ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා යටිතල පහසුකම් සඳහා සිදු කෙරෙන සැලකිය යුතු ආයෝජනයක් ලෙස සැලකේ.
නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම ඩොප්ලර් රේඩාර් පද්ධතිය මඟින් කාලගුණ තත්ත්වයන් තත්‍ය කාලීනව නිරීක්ෂණය කිරීමට සහ කෙටි කාලීන කාලගුණ අනාවැකි වැඩිදියුණු කිරීමට හැකි වනු ඇත.
ඒ හරහා අයහපත් කාලගුණ තත්ත්වයන් පිළිබඳව කාලෝචිත අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට බලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීම සහ දැඩි කාලගුණික තත්ත්වයන්ගෙන් ජනතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ දිවයින පුරා ප්‍රදේශවල ජනතාව දැඩි කාලගුණික තත්ත්වයන්ගෙන් ආරක්ෂා කිරීමට මෙම ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාලය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බවයි.


