Friday, 6 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පෙරපාසල් ගුරුවරුන් 35,000කට රජයෙන් නොමිලේ ජාතික පුහුණුවක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන හා පෙරපාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක පරිවර්තනයක් ඇතිකිරීමේ අරමුණින්, දිවයින පුරා සිටින සියලුම පෙරපාසල් ගුරුවරුන් වෙනුවෙන් පූර්ණ නොමිලේ ක්‍රියාත්මක වන ජාතික මට්ටමේ විශේෂ පුහුණු වැඩසටහනක් රජය විසින් ආරම්භ කර ඇති බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් නිවේදනය කළේය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සහ ජාතික අධ්‍යාපන ආයතනය (NIE) ඒකාබද්ධව මෙම දැවැන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

ජාතික පෙරපාසල් ප්‍රතිපත්තිය විධිමත්ව බලාත්මක කිරීම, දිවයිනේ සියලුම පෙරපාසල් ලියාපදිංචි කිරීම, නව්‍ය විෂයමාලා රාමුවක් හඳුන්වා දීම සහ පෙරපාසල් ගුරුවරුන්ගේ වෘත්තීය නිපුණතාව ඉහළ නැංවීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධානතම අරමුණු වේ.

ගුරුවරුන් 35,000කට දින 10ක පුහුණුවක්

අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා ජාතික මට්ටමේ ප්‍රධාන පුහුණුකරුවන් 108 දෙනෙකු සහ පළාත් මට්ටමේ පුහුණුකරුවන් 556 දෙනෙකු යොදවා ඇති අතර, දිවයින පුරා විසිරී සිටින 35,000කට ආසන්න පෙරපාසල් ගුරුවරුන් පිරිසක් පුහුණු කිරීමට නියමිතය. ඒ යටතේ එක් ගුරුවරයෙකු වෙනුවෙන් දින 10ක පූර්ණ ප්‍රායෝගික හා න්‍යායික පුහුණුවක් හිමිවේ.

පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල පූර්ණ සම්බන්ධීකරණයෙන් යුතුව දැනටමත් පළාත් අටක මෙම පුහුණු වැඩසටහන් ආරම්භ කර ඇති අතර, සබරගමුව පළාතේ පුහුණු සැසිවාර ලබන නොවැම්බර් 11 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

මීට අමතරව, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සහ පහසුකම් පුළුල් කිරීම සඳහාද මෙම වැඩසටහන යටතේ විශේෂ ප්‍රතිපාදන සකස් කරමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ අදහස