“පරිසරය අමතක කර සංවර්ධනයට යන්න බෑ” – අග්‍රාමාත්‍ය

සංවර්ධනය යනු පරිසරය අමතක කර ලබාගත හැකි ජයග්‍රහණයක් නොවේ යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.

පරිසරය සුරැකීම දිනකට පමණක් සීමා නොකර එය දෛනික ජීවිතයේ කොටසක් බවට පත් කරගත යුතු බව කී අග්‍රාමාත්‍යවරිය  පරිසරය අමතක කර සිදු කරන සංවර්ධනයක් ලෝකයේ නොමැති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

ලෝක තෙත්බිම් දිනය සැමරීම වෙනුවෙන්  “තෙත්බිම් හා සම්ප්‍රදායික දැනුම හා සබැඳුණු සංස්කෘතික උරුමය සුරකිමු” රාජ්‍ය උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය  මේ බව පැවසුවාය.
බත්තරමුල්ල “අපේ ගම” පරිශ්‍රයේ  මෙම උත්සවය පැවැත්විණි.

“අපේ රටේ  සාම්ප්‍රදායික වාරි පද්ධතිය සහ කෘෂිකාර්මික රටාව තුළ පරිසරයට හානි නොවන සුවිශේෂී විද්‍යාත්මක දැනුමක් ගැබ්ව තිබෙනවා.

දැනුම යනු එක් ආකෘතියකට පමණක් සීමා වූවක් නොවේ. අපේ දරුවන් මේ සම්ප්‍රදායික දැනුම හැදෑරිය යුතුයි. අපේ වාරි පද්ධති සහ කෘෂිකර්මය තුළ පවතින්නේ සොබාදහම ආරක්ෂා කරන විද්‍යාවක්. තෙත්බිම් යනු හුදෙක් වගුරු බිම් පමණක් නෙමෙයි, ඒවා රටේ ජල සුරක්ෂිතතාව, දේශගුණික ස්ථාවරත්වය සහ ජෛව විවිධත්වය රකින ස්වභාවික පලිහක්. මෑතකදී ඇති වූ සුළි කුණාටු වැනි දේශගුණික විපර්යාස හමුවේ සිදුවූ හානි අවම කර ගැනීමට පරිසරය නිසි ලෙස ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යයි. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියේ මූලික පදනම ස්වභාවික සම්පත් සුරැකීම බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මදුර සෙනෙවිරත්න මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන්  සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *