මත්ද්‍රවය කිලෝ 12ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් මාලඹේ, සුසිලාරාමය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී හෂීෂ් නැමති මත්ද්‍රව්‍ය කිලෝ 12ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, සැකකරු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත අදාළ නඩු භාණ්ඩ සමඟ භාර දී ඇති බවය.

මේ අතර විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අම්බලන්තොට ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

දඹුල්ල පොලීසිය විසින් ඊයේ (10) දිනයේ දී මත්ද්‍රව්‍ය වැරදි සිදුකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී ඔහු විවිධ අවස්ථාවලදී නම් 5කින් පෙනී සිටිමින් විවිධ වංචා සිදුකර ඇති බවට අනාවරණය වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එම පුද්ගලයා සම්බන්ධයෙන් මහඔය හා කැකිරාව පොලිස් ස්ථානවලට අදාළ ව විවිධ නඩු ඇති බවට අනාවරණය වී තිබේ.

සැකකරු ඊයේ දඹුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් භාරයට පත්කර ඇත.

සැකකරු දඹුල්ල ප්‍රදේශයේ තාවකාලික පදිංචියක් ඇති බවත් මහව, බලල්ල ප්‍රදේශයේ ස්ථීර පදිංචිය ඇති අයෙක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *