සහරාන් සමග රවුෆ් හකීම්ගේ සම්බන්ධය කුමක්ද? මුස්ලිම් සමාජයෙන්ම චෝදනා

මුස්ලිම් අන්තවාදී නායක සහරාන් හශීම් අමාත්‍ය රවුෆ් හකීම් සමග සාකච්ඡාවක නිරතවන වීඩියෝවක් පෙන්වමින් මුස්ලිම් සංවිධානයක් අද(18) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අමාත්‍යවරයා අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයේ නායක සහරාන් හෂීම් සමඟ සාකච්ඡා පවත්වන දර්ශන ඇතුළත් වීඩියෝවක් අද (18) මාධ්‍යයට අනාවරණ විය.

මෙම හෙළිදරව්ව සිදුකළේ මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානයයි.

රවුෆ් හකීම් අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඔවුන් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්ද සිදු කළේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අමාත්‍යවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානය අද පෙරවරුවේ පොලිස් මූලස්ථානය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරත විය.

2015 මහ මැතිවරණ සමයේදී ජාතික තවුහිද් ජමාද් සංවිධාන කාත්තන්කුඩි කාර්යාලයේදී එහි නායක සහරාන් හෂීම් සහ අමාත්‍ය රවුෆ් හකීම් අතර සිදුව ඇතැයි පැවසෙන සාකච්ඡාවක දර්ශන ඇතුළත් සංයුක්ත තැටියක්ද පොලිස් මූලස්ථානයට භාර දෙමින් අමාත්‍යවරයාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

අදාළ දර්ශන ඔවුන් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

ඔවුන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ල ඉදිරිපත් කරන අතරතුර මාළිගාවත්ත ප්‍රදේශයේ පිහිටි මොහොමඩ් මිෆ්ලාල් මවුලවිවරයාගේ නිවස මාළිගාවත්ත පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර තිබුණි.

ඒ, සැකකටයුතු පාර්සල් කිහිපයක් එම නිවසට රැගෙනවිත් ඇති බවට කිසියම් පාර්ශ්වයක් පොලිසියට සිදුකර තිබූ පැමිණිල්ලකට අනූවයි.

කෙසේ වෙතත් එම නිවසේ තිබී සැක කටයුතු කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ අතර, මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානයට සහ මුස්ලිම් අයිතීන් සන්ධානයට අයත් අත්පත්‍රිකා සහ පොස්ටර් අඩංගු පාර්සල් කිහිපයක් සොයා ගෙන ඇත.

කෙසේ වෙතත් මෙම වීඩියෝව සහ චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය රවුෆ් හකීම් මේ වනතුරු කිසිදු ප්‍රකාශයක් කර නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *