22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකවරයාට ලැබෙයි

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය අද තහවුරු කර තිබේ.

අධිකරණයේ රහස්‍ය තීරණය අද (22) පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම තීරණය කථානායකවරයා වෙත ලැබී ඇත්තේ මෙම මස මුලදී අදාළ පෙත්සම් සම්බන්ධයෙන් පැවති විභාගය අවසන් වීමෙන් අනතුරුවය.

22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

ඊට අභියෝග කරමින් පෙත්සම් 65කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, එම පෙත්සම් සැප්තැම්බර් 1 වැනිදා අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගෙන තිබේ.

පෙත්සම් විභාගය සැප්තැම්බර් 2 වැනිදා අවසන් වූ අතර, පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් සිය තීරණය කථානායකවරයා වෙත යොමු කරන බව විනිසුරු මඬුල්ල එහිදී දැනුම් දී තිබිණි.

මේ අතර, 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ දෙවැනි වර කියවීමේ විවාදය සැප්තැම්බර් 24 සහ 25 යන දෙදින තුළ පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. එම දින දෙකේ පෙරවරු 11.30 සිට පස්වරු 7.00 දක්වා විවාදය පැවැත්වීමට කාලය වෙන් කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *